මහා බ්‍රිතාන්‍යයේ එසෙක්ස් හි ලොරි රථයක් තුළ පුද්ගලයන් 39 දෙනෙකුට මරු කැඳවූ ඒ ඛේදවාචකය හේතුවෙන් වියට්නාමයේ ලේ වැන් හා ගම්මානයම අද හැඬූ කඳුලින් ජීවත් වන බව විදෙස් වාර්තා පවසයි.
අනවසරයෙන් බ්‍රිතාන්‍ය වෙත ඇතුළු වීම සඳහා ජාවාරම්කරුවන්ට විශාල මුදලක් ලබාදී, අවසානයේදී ශීතකළ ලොරි රථයක් තුළ හුස්ම හිරවී මියයෑමට තරම් තම දරුවන් අවාසනාවන්ත වී ඇති බව ඔවුන්ගේ ඥාතීහු අද පවසති.
මෙසේ මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 30ක්, කාන්තාවන් 8ක් සහ නව යොවුන් වියේ තරුණියක්ද වන අතර, මුලින් මෙම පිරිස චීන ජාතිකයන් බව සැක කෙරුණත්, පසුව ඔවුන් වියට්නාම ජාතිකයන් බව හඳුනා ගනිමින් තිබුණි.
මෙම ගම්මානයේ ජීවත්වන බොහෝ වියට්නාම ජාතිකයන් මේ වනවිට ආර්ථික අහේනියකට පත්ව සිටින අතර, ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයා දහස් ගණන් පිරිස් පසුගිය මාස තුනක කාලය තුළ යුරෝපය වෙත සංක්‍රමණය වීම අරඹා තිබුණි.
එහි එක් ඛේදාන්තයක් ලෙස මෙම අවස්ථාව සැලකෙන අතර, බෙල්ජියම හරහා සීතකළ ලොරි රථයක පසුපස නැගී බ්‍රිතාන්‍යයේ සිහින දැකීමට ගිය ඔවුන් අවසානයේදී ඒ සිහින තුරුළු කරගෙනම කෘත්‍රිම සීතලක් තුළ හුස්ම හිරවී දෑස් පියා ගත්තේය.