ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලාංකේය දෙමළ ජාතික පවුලක් යළි මෙරටට පිටුවල් කරමින් සිටියදී අවසන් මොහොතේ උඩුගුවනේදීම ඔවුන්ගේ පිටුවල් කිරීම අධිකරණයෙන් අත්හිටුවා තිබේ.
යුද සමයේ ඔස්ට්‍රේලියාවට පළාගොස් සිටි නඩෙසලිංගම් සහ ප්‍රියා ඔස්ට්‍රේලියාවේදීම දැන හැඳිනගෙන විවාහ දිවියට එක්ව තිබුණු අතර, මේ වනවිට ඔවුන් දියණියන් දෙදෙනෙකුගේ මවුපිය යුවළකි.
පසුගිය මාර්තු මාසයේ සිට මොවුන්ගේ සරණාගතභාවය පිළිබඳ එරට තුළ යම් ආන්දෝලනයක් ඇති කළ අතර, විශේෂයෙන් ඔවුන් ජීවත් වූ ක්වින්ස්ලන්ත නිවසින් ඔවුන් ඉවත් කරමින් සරණාගත කඳවුරක් වෙත ගැනීමට රජය ක්‍රියා කළේය.
එහිදී, ඔවුන් තවදුරටත් සරණාගතයන් ලෙස පිළිගත නොහැකි බව පවසමින් මෙම පවුලේ පිරිස යළි ශ්‍රී ලංකාවට එවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කළේය.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව ඔවුන් එරට තුළ රඳවා ගැනීම සඳහා දැවැන්ත උත්සාහයක් ගෙන තිබූ අතර, මෙම පුද්ගලයන් කලින් දැරූ දේශපාලන මත හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පිටුවල් කිරීම මහා භයානක තත්ත්වයක් ලෙස ඔවුන් එරට තුළ ඉස්මතු කර තිබුණි.
විශේෂයෙන්ම, ඩයස්පොරාවේ සහ ඔවුන් කලින් ජීවත් වූ ප්‍රදේශයේ ජනතාවගේද ආධාරයෙන් අත්සන් 120,000ක පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔවුන් රට තුළ තබාගැනීම සඳහා අධිකරණය ක්‍රියාවලියක් සිදුවූයේද මේ අතරතුරය.
ඔවුන් එරට සරණාගතභාවය ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන්ගේ එක් දරුවෙකුගේ ඉල්ලුම් පත්‍රය මුලින් නිශ්ප්‍රභ වූ අතර, පසුව තවත් දරුවෙකුගේ සහ දෙමවුපිය යුවළේ අයදුම් පත්‍ර නිශ්ප්‍රභ විය. ඒ අනුව, එක් දරුවෙකු මුලින්ම පිටුවහල් කර අනෙක් දරුවා සහ දෙමවුපියන් යළිත් පිටුවහල් කිරීමක්ද සිදුවීමට නියමිත වූ අතර, මෙය අමානුෂික ක්‍රියාවක බව ඔවුන්ගේ නීතීඥයන් අධිකරණය හමුවේ කියා සිටියේය.
අවසානයේදී, ඔවුන් රැගත් ගුවන් යානය මෙල්බර්න් නුවරන් පිටත්වන විට විරෝධතාවක්ද දියත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, විනිසුරුවරයා විසින් දුරකථනයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔවුන් පිටුවහල් කිරීම අත්හිටුවා ඔවුන් රැගත් ගුවන් යානය ඩාවින් වෙත ගොඩබස්වන ලෙස පවසා තිබුණු බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.