මැලේසියාවේ සංචාරයක් පැමිණ අතුරුදන්ව සිටි ලන්ඩනයේ පදිංචිව සිටි නෝරා ක්වයිරින් නමැති විශේෂ අවශ්‍යතා සහිත දැරියගේ මළ සිරුර අසල වන ලැහැබක තිබී සොයාගෙන ඇති අතර, එය සිය දියණියගේ බව ඇගේ දෙමවුපියන් විසින් හඳුනාගෙන තිබේ.
සිය දෙමවුපියන් සමග නිවාඩුවකට මැලේසියාවට පැමිණි ඇය, පසුගිය අගෝස්තු 04දා ඩියුසන් රිසෝට් හෝටලයේ සිය කාමරයේ සිටියදී අතුරුදන්ව තිබුණි. 15 හැවිරිදි නෝරා සොයා අසල වනාන්තර ප්‍රදේශය පීරමින් දැවැන්ත මෙහෙයුමක් එතැන් පටන් සිදුවූ අතර, අවසානයේදී පසුගිය අඟහරුවාදා ඇයගේ නිසල දේහය දොළ පහරක් අසල තිබී සොයා ගැනුණි.
පොලීසිය පවසා සිටියේ ඒ වනවිටත් දැරිය නිර්වස්ත්‍රව සිටි බවත්, අයර්ලන්ත-ප්‍රංශ සම්භවයක් ඇති මෙම දැරිය සොයාගත් ස්ථානය අදාළ හෝටලයේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් වූ ස්ථානයක් බවත්ය.
මෙය දැරිය අතුරුදන්වීමක් ලෙස සලකා පොලීසිය දැනට මෙහෙයුම් සිදුකරගෙන ගියත්, කිසිවෙකුගේ සරණක් නැතිව කිසිවක් කරගත නොහැකි නෝරා නිසැක ලෙසින්ම පැහරගෙන ගොස් යම් අපරාධයක් සිදුකර ඇති බව ඇගේ පවුලේ ඥාතීහු පවසති. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව මැලේසියානු පොලීසිය පවසයි.