හිටපු ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලී දීර්ඝ කාලයක් පැවති රෝගාබාධ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හුස්ම ගැනීමේ අපහසුතාවක් සමග පසුගිය 9 වැනිදා දිල්ලියේ රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබූ හිටපු අමාත්‍යවරයා, අද (24දා) එම රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
මියයන විට 66 වැනි වියෙහි පසුවූ ජෙට්ලී මහතා, වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකෙයි.
එමෙන්ම, වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු ලෙසද ඔහු සැලකෙයි.
මෝදි පාලනයේ පළමු ධුර කාලය තුළ ඔහු විසින් ඉදිරිපත් කළ භාණ්ඩ හා සේවා නව බදු පනත බොහෝ දෙනෙකුගේ පැසසුමට හේතු වූ අතර, එය ඉන්දියාව නිදහස ලැබීමෙන් පසුව සිදුකළ වඩාත් සුවිශේෂිතම බදු සංශෝධනය ලෙස පිළිගැනෙයි.
කෙසේ වෙතත්, 2018 වසරේ සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකින් පසුව දිගින් දිගටම රෝගී තත්ත්වයෙන් පසුවූ ජෙට්ලී, මෝදි රජය දෙවැනි වර දැවැන්ත ජයග්‍රහණයක් ලැබූවද කැබිනට් අමාත්‍ය ධුරයකට පත්වූයේ නැත.
එමෙන්ම, ඉන්දියාවේ නීතිවිරෝධී මුදල් ළඟ තබාගෙන සිටීම සහ මුදල් වංචා පිටුදැකීමේ අරමුණින් එරට රුපියල් 500 සහ 1000 නෝට්ටු ඉන්දීය මුදල් සංසරණ පද්ධතියෙන් වහාම ඉවත් කිරීමට පියවර ගනිමින්, එම සඟවාගෙන සිටි දැවැනත් මුදල් සම්භාරයක් නැවතත් මුදල් සංසරණ පද්ධතියට එකතු කිරීමට කටයුතු කළේද ජෙට්ලී මුදල් ඇමති ධුරය දරන කාලයේදීය.