ප්රංශය තුළ විදුලි ස්කූටර් භාවිතයේදී සිදුවූ මාරාන්තික අනතුරු හේතුවෙන් ඒ සඳහා නව ආරක්ෂණ නීති මාලාවක් හඳුන්වාදීමට ප්රංශ බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව, අද (26දා) සිට ප්රංශය තුළ විදුලි ස්කූටරයක් භාවිත කරන්නේ නම්, ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම අවුරුදු 12 ඉක්මවිය යුතු අතර, පදික වේදිකාව මත ඒවා පැදයාම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.
එමෙන්ම, එක් අයෙකුට වැඩි පිරිසක් නැගී ගමන් කිරීම තහනම් වන අතර, මාර්ග සංඥා පිළිපැදිය යුතුය. ජංගම දුරකතන භාවිත කරමින් ධාවනයද තහනම් අතර, පාපැදි මංතීරු භාවිත කළ යුතුය.
එමෙන්ම මෙම විදුලි ස්කූටර්වල උපරිම වේගයද ලබන වසරේ සිට සංශෝධනය කරමින්, පැයට කිලෝමීටර් 25ක වේග සීමාවක් ඒ සඳහා පැනවීමටද නියමිතව ඇත.
පරිසරහිතකාමී බව මෙන්ම, පහසු භාවිතය නිසා පැයට කිලෝමීටර් 50 ඉක්මවා යන මෙම විදුලි ස්කූටර් මේ වනවිට ප්රංශය තුළ වේගයෙන් ජනප්රිය වී තිබේ.