ඉරානයට එරෙහිව ට්‍රම්ප් පැනවූ සම්බාධක සමග ධවල මන්දිරය මානසික ආබාධයකින් පෙළෙන බව තහවුරු වී ඇතැයි සඳහන් කරමින් ඉරාන ජනාධිපති හසන් රූහානි කළ ප්‍රකාශයෙන් දෙරට අතර මතභේදය තවත් වර්ධනය වී තිබේ.
ඒ සමග ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ ඉරානයේ නායකයින් යථාර්ථය අවබෝධ කරගෙන නොමැති බවක් එමගින් පෙන්නුම් කරන බවකි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සඳුදා ඉරානයට එරෙහි නව සම්බාධක ඉදිරිපත් කළේ, ඉරානය මෑත කාලීනව ප්‍රදර්ශනය කළ ආක්‍රමණශීලී හැසිරීමට ප්‍රතිචාර වශයෙන් යැයි සඳහන් කරමිනි.
මෙම නව සම්බාධක ඉරානයේ පුද්ගලයන් කිහිප දෙනෙකු ඉලක්ක වූ අතර, ඉන් ප්‍රධාන වූයේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් ඛමේනිය.
ඉස්ලාම් විප්ලවීය ආරක්ෂක බලකාය වෙත අරමුදල් සැපයීම සඳහා උත්තරීතර නායකයාට විශාල ධන සම්භාරයකට ප්‍රවේශයක් ඇතැයි ඇමෙරිකාව චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, ඉරාන ජනාධිපති හසන් රූහානි ප්‍රශ්න කළේ, යාච්ඤා ශාලාවක් සහ සාමාන්‍ය නිවසක් පමණක් හිමි පුද්ගලයෙකුට ඇමෙරිකාව සම්බාධක පනවන්නේ ඇයිදැයි යනුවෙනි. එය ප්රකෝපකාරී සහ අඳාන ක්‍රියාවක් බව ඔහු හඳුන්වා තිබේ.
ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ජූනි 13 වැනිදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කර තිබුණු අතර, මෙයද ඇමෙරිකාව සහ ඉරානය අතර උණුසුම ඉහළ යෑමට ඉවහල් විය.