ඇමසන් වනාන්තරයේ වාර්තාගත ගිනිගැනීම් සංඛ්‍යාවක් මුල්කර ගනිමින් ලෝක දේශගුණ විපර්යාස තේමාකර ගත් සමුළුවකදී බ්‍රසීලයේ පරිසර ඇමති රිකාඩෝ සාලෙස් බාධා කිරීම රැසකට මුහුණ දී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට අභ්‍යවකාශ සමීක්ෂණ පිළිබඳ ජාතික විද්‍යායතනය චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබාගත් තොරතුරු අනුව මේ වසරේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ඇති වූ ගිනි ගැනීම් 84%කින් වැඩි වී තිබේ.
එහිදී, බ්‍රසීල පරිසර ඇමතිවරයා දේශගුණ සමුළු වේදිකාවට පිවිසීමට පිය නගමින් සිටියදී සමුළුවේ සිටි ඇතැමෙක් "ඇමසන් ගිනි ගන්නවා" යනුවෙන් කෑමොර දෙන විට, තවත් අය හූ කියා ඇති අතර, තවත් පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන බාධා කර තිබේ.
ලතින් ඇමෙරිකාවේ සහ කැරිබියානු කලාපයේ පරිසර සතිය නිමිත්තෙන් බ්‍රසීලයේ සැල්වදෝර් නගරයේදී පසුගිය බදාදා ආරම්භ වූ සමුළුවට බ්‍රසීල පරිසර ඇමතිවරයාද සහභාගී විය. එක්සත් ජාතීන් විසින් එම පරිසර සමුළුව සංවිධානය කරන ලද්දේ ඉහත කී කලාපයේ පරිසර විපර්යාස පාලනය කර ගැනීමට පියවර ගැනීමේ ප්රයත්නයක් වශයෙනි. රාජ්‍ය නොවන සංවිධාන,ව්‍යාපාරික සහ අධයාපන සංවිධාන ආදියේ නියෝජිත කණ්ඩායම් ද එම සමුළුව නියෝජනය කළහ.
මේ වනවිට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් විසින් මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් බ්‍රසීල රජයට සෘජුවම චෝදනා කරමින් සිටින අතර, තවත් රාජ්‍යයන් රැසක් බ්‍රසීලය වෙත ඇඟිල්ල දිගුකරමින් සිටියි.
විශේෂයෙන්ම, දැව ජාවාරම්කරුවන් සහ වැවිලිකරුවන් විසින් ගහකොළ කපා දමමින් ඇමසන් වැසි වනාන්තරය විනාශ කරනු ලබමින් ඇති බවත්, බ්‍රසීලයේ මෑතකදී බලයට පත් අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ ඔවුන් දිරිමත් කරන බවටත් පරිසරවේදීහු චෝදනාව කරති.
ලොව විශාලතම වැසි වනාන්තරය වන 'ඇමසන්' මිහිතලයේ උණුසුම ඉහළයාම පාලනය කෙරෙන වැදගත්ම කාබන් ගබඩාවද වන අතර, එය ලෝකයේ පෙනහළු යන අනර්වර්ථ නාමයෙන්ද හැඳින්වෙයි.