තායිලන්තයට බලපෑ පබුක් සුළි කුණාටුව දශක තුනක කාලය තුළ කලාපයට බලපෑ ප්රබලතම සුළි කුණාටුව බවට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද (04දා) ප.ව. 12.45ට පමණ ගොඩබිම කරා පැමිණ තිබූ සුළි කුණාටුව, දකුණුදිග තායිලන්තයේ ප්‍රකට සංචාරක පුරවරයන් කිහිපයක්ම පසුකරමින් ඇදෙනු ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව, ඒ ආසන්න දූපත්වල රැඳී සිටි ජනයා මෙන්ම, සංචාරකයන් ආරක්ෂිත ස්ථාන කරා හැකි ඉක්මණින් යොමුකළ බවද එරට බලධාරීහු පවසති.
මේ අතර, ඇතැම් පළාත්වල ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට දන්වා ඇති අතර, ඇතැම් ප්‍රදේශවල විදුලිබලය ඇණහිටීම්ද වාර්තා වන බව කියයි.
වසරේ මෙම කාලයේදී තායිලන්ත බොක්ක ආශ්‍රිතව සුළි කුණාටු වර්ධනය වීම සාමාන්‍ය සිදුවීමක් වුවත්, පබුක් සුළි කුණාටුව වසර ගණනාවකින් පසුව එරටට දැඩි බලපෑමක් කළ හැකි සුළි කුණාටුවක් බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම, මෙය තායිලන්තය වෙත සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වී ඇති කාලකවානුවක් බැවින් එය එරට ආර්ථිකය කෙරෙහිද බලපෑමක් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.