හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ ජාත්‍යන්තර ගුවන් කලාපයේදී එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කරයි.
ගොඩබිම සිට අහසට විදින මිසයිලයක් යොදා ගනිමින් මෙම ඩ්‍රෝන යානය විනාශ කර ඇති බව ඇමෙරිකාව සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඉරානයේ ඉස්ලාමීය විපල්වීය හමුදාව පවසන්නේ මෙම ඩ්‍රෝන යානය ඉරාන ගුවන් සීමාවට පැමිණි නිසා බිම හෙලූ බවයි. ඒ දකුණුදිග හොර්මෝස්ගැන් හි කුහ්මොබාර්ක් ප්‍රදේශයේදී බවත් ඔවුන් වැඩිදුරටත් කියයි.
මේ අතර, එම හමුදාපති මේජර් ජෙනරාල් හොසින් සලේම් පවසන්නේ මෙය එක්සත් ජනපදය වෙත ලබාදුන් පැහැදිලි පණිවුඩයක් බවයි.
එක්සත් ජනපදය සහ ඉරානය අතර යම් උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන පසුබිමක මෙම ඩ්‍රෝන යානය බිම හෙලීමද සිදුවිය.
මේ අතර, පසුගිය සඳුදා ඇමෙරිකාව කියා සිටියේ ඔවුන් අමතර සෙබලු 1,000ක් මැදපෙරදිග කලාපයට යැවූ බවයි. ඉරානයේ නොහික්මුණු හැසිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගත් බවත් ඇමෙරිකාව කීය.
විශේෂයෙන්ම පසුගිය සතියේ බ්‍රහස්පතින්දා හෝමූස් සමුද්‍ර සන්ධියට ඔබ්බෙන් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද ඇමෙරිකාව විසින් ඉරානයට චෝදනා කළේය. නමුත්, එම චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කර තිබුණි.