ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර තවත් ඓතිහාසික හමුවක් කොරියානු දේශසීමා නගරයේදී සිදුවිය.
ඊයේ (29දා) දිනයේදී ට්රම්ප් ට්විටර් පණිවුඩයකින් මෙම ආරාධනය උතුරු කොරියානු නායකයා වෙත සිදුකළ අතර, ඊට ප්රතිචාර දක්වමින් කිම් ජොන්ග්-උන් සහ ට්රම්ප් අතර හමුව හමුදා මුක්ත දේශසීමා නගරයේදී සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි.
එහිදී, උතුරු කොරියානු නායකයාගේ ආරාධනයෙන් පියවර කිහිපයක් උතුරු කොරියාව වෙතද ගමන් කළ ඇමෙරිකානු නායකයා මෑත ඉතිහාසයේ උතුරු කොරියාවට පය තැබූ ප්රථම ඇමෙරිකානු නායකයා බවටද පත්විය.
එමෙන්ම, තමාගේ මෙම කෙටි ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයාට කෘතඥ වීමටද ඔහු අමතක නොකළේය.
මෙය කොරියානු අර්ධද්වීපය සම්බන්ධයෙන් වඩාත් සුබවාදී දසුනක් බව දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් පවසා සිටියේය.