එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තයේ 2018 වසරේ සිදුවූ පාසල් වෙඩි තැබීමේ සිදුවීමේදී සිසුන්ගේ දිවි බේරාගැනීමට කටයුතු කළේ යැයි කියන අතිරේක ගුරුවරයා සැබෑ ලෙසම එම පාසලේ ගුරුවරයෙකු නොවන බව මේ වනවිට හෙළි වෙමින් පවතී.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී තමන් රැඳී සිටි පන්ති කාමරයේ දොර මේස සහ පුටු හරස් කර අවහිර කමින්, සිසුන්ට නිසොල්මන්ව සිටීමට පවසා ඔවුන්ගේ ජීවිත රැකගත් බවත් ඩේවිඩ් බ්රිස්කෝ නැමැත්තා පවසා තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට සිදුවන අනාවරණයන්ට අනුව අදාළ පුද්ගලයා කිසිදු ලෙසකින් එම පාසලේ ඉගෙනුම් කටයුතු කර නොමැති බව කියැවෙයි.
මේ තත්ත්වය යටතේ මොහු මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදි ප්රකාශ සිදුකර නොමග යවනසුළු තොරතුරු පවසා ඇත්තේ ඇයිද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී තිබේ.
මෙම වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් එම පාසලේම ඉගෙනුම ලැබූ සිසුවෙකු අත්අඩංගුවට පත්ව සිටින අතර, එම ප්රහාරයෙන් සිසුන් 8 දෙනෙකු සහ ගුරුවරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ සිව්වැනි මාරාන්තිකම පාසල් ප්රහාරය ලෙස සැලකෙයි.