පාකිස්තානයේ පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි මරා දැමුණු ඛන්ඩීල් බලෝෂ්ගේ සහෝදරයන් දෙදෙනාට ඔවුන්ගේ දෙමවුපියන් විසින් දෙවියන්ගේ නාමයෙන් සමාව ඉල්ලා සිටියද අධිකරණය එය නිශ්ප්‍රභ කර තිබේ.
පාකිස්තානයේ කිම් කාඩාෂියන් යැයි ප්රකටව සිටි බලෝෂ් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් අතර ඇයගේ සහෝදරයන් දෙදෙනෙකුද වෙයි.
ඒ අනුව, වසීම් සහ අස්ලාම් ෂහීන් නමැති සිය පුතුන් දෙදෙනාට අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් සමාව දෙන ලෙස ඔවුන්ගේ දෙමවුපියන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
පාකිස්තානය තුළ වඩාත් ප්රකටව සහ ඉතා අමානුෂික ලෙස සිදුවන පවුලේ ගෞරවය වෙනුවෙන් කාන්තාවන් ඝාතනය කිරීමේ සිදුවීම් පසුව, දෙවියන්ගේ නාමයෙන් පවුලේ ඥාතියෙකු සිදුකරන සාමව ඉල්ලීමක් මත නීතියෙන් පැන යාමේ ක්‍රමවේදයක් මෙතෙක් පැවතිණි.
කෙසේ වෙතත්, බලෝෂ්ගේ ඝාතන සිදුවීමත් සමග ජාත්‍යන්තරයෙන් මෙම අමානුෂිකත්වයට එරෙහිව නැගුණු චෝදනා හමුවේ එම නීතියේ හැදැස වසා දැමීමට පාකිස්ථාන බලාධාරීහු ක්‍රියා කළහ.
ඒ අනුව, මෙවර බලෝෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයන්ටවත් දෙවියන්ගේ නාමයෙන් සමාවක් නොලැබෙන බව පාකිස්තානයෙන් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුවූ අවධියේදී ඇගේ පියා කියා තිබුණේ තම දියණිය ඝාතනය කළ පුතුන්ටද දඬුවම් හිමිවය යුතු බවය. නමුත්, මේ වනවිට ඔවුන් සිය අදහස වෙනස් කරගෙන දෙවියන්ගේ නාමයෙන් පුතුන්ට සමාව ඉල්ලා සිටින බව එරට මාධ්‍ය පවසයි.