ඉරානයේ අවි පද්ධති ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ඉරානයට එරෙහිව එල්ල කිරීමට ගිය ගුවන් ප්‍රහාරය අත්හැරීමෙන් පසුව ඔවුන් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ රොකට් සහ මිසයිල ක්‍රියාත්මක කිරීමේ පරිගණක පද්ධති අඩපණ වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීම ඇතුළු ඊට පෙර ඉන්ධන ප්‍රවාහන නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල වීම ඇතුළු සිද්ධීන්ට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.
කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරයෙන් ඉරානයේ රොකට් සහ මිසයිල ක්‍රියාත්මක කිරීමේ පරිගණක පද්ධති සැබෑ ලෙසම අඩපණ වූයේද යන්න තහවුරු කරගැනීම සඳහා ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නොමැත.
මේ අතර, ඉරානය වෙත අද දිනයේ පටන් තවත් සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇති අතර, මෙය ප්‍රබල ගණයේ සම්බාධක පැනවීමක් බව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා පවසා ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වැළැක්වීම සඳහා මෙම සම්බාධක පැනවීම සිදුකරන බවත්, ටෙහෙරාන් පාලනය ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන තුරු මෙම ආර්ථික පීඩනය එරටට එල්ල කරන බවද ට්‍රම්ප් පවසා තිබේ.