ඉන්දීය පාලනයේ ඇති කාශ්මීරයට ස්වයං පාලන බලතල සහිතව විශේෂ තත්ත්වයක් ලබාදුන් කොටස ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජය කටයුතු කර තිබේ.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබුණු අතර, ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලැබුවේද එම වගන්තිය මගිනි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පිහිටි මතභේදයට තුඩුදී ඇති එම කලාපයට දෙරටම හිමිකම් කීවත්, ඉන්දියාව සහ පාකිස්තානය විසින් කාශ්මීර කලාපයේ කොටස් වෙන්ව පාලනය කරනු ලබයි.
විශේෂයෙන්ම, පාකිස්තානයේ සහාය ලබන ජිහාඩ් අන්තවාදීන්ගේ පාරාදීසයක් බඳු යැයි ඉන්දියාව චෝදනා කරන කාශ්මීරයේ, හින්දූන් ඉලක්ක කරමින් ආසන්නයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවටද පසුගියදා ඉන්දීය බලධාරීන් අනතුරු ඇඟවීය.
ඒ අනුව, කාශ්මීරයේ රැඳී සිටි විදෙස් සංචාරකයන් ඇතුළු වන්දනාවේ පැමිණි හින්දු බැතිමතුන්ද වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කළේය.
මේ අතර, ජම්මු- කාශ්මීරයට විශේෂ තත්ත්වයක්දී තිබූ වගන්තිය ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව හෙළා දකිමින් පාකිස්තානය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා ගත හැකි සියලු විකල්ප මාර්ග වෙත යොමුවන බවය.
කෙසේ වෙතත්, අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යොදවනු ලැබූ අතර මෙහුබූබා මුෆ්ති ඇතුළු හිටපු මහඇමතිවරුන් දෙදෙනෙකු නිවාස අඩස්සියට ගනු ලැබීය.
එමෙන්ම, ප්‍රාන්තය තුළ මහජන ඒකරාශිවීම් තහනම් කරනු ලැබ ඇති අතර, ජංගම දුරකතන සබඳතා සහ අන්තර්ජාල පහසුකම් සීමා කිරීමටද ඉන්දියාව කටයුතු කළේය. මෙය කලාපයේ න්‍යෂ්ටික බලවතුන් අතර අලුත්ම අරගලයක් ඉස්මතු වීමට සුදුසු පසුබිම ඉක්මන් කරන්නක් බව ලෝක දේශාපාලන විචාරකයෝ පවසති.