ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්රාන්තයේ පමණක් මිලියන 1.9ක තම ඉන්දීය පුරවැසිභාවය සනාථ කරගැනීමට නොහැකි ජනතාවක් සිටින බව අනාවරණය වෙයි.
ඉන්දියාවේ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලියාපදිංචි වැඩසටහන තුළින් මෙම අනාවරණය කරගෙන ඇති අතර, 1971 මාර්තු 24 වැනිදා වනවිට ප්රාන්තය තුළ පදිංචිය සනාථ කළ හැකි පිරිස් මෙම ලියාපදිංචි ලේඛනයට ඇතුළත් වී තිබේ.
මෙම දිනය අසල්වාසී බංග්ලාදේශය පාකිස්තානයෙන් නිදහස ලබාගත් දිනට පසු දිනය ලෙස සැලකෙයි. ඒ අනුව, ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ඇපෑලක් ඉදිරිපත් කිරීමට තවත් දින 120 කාලයක් එම පිරිසට ලබාදී ඇති අතර, ඊට අපොහොසත් වන පිරිසට සිදුවන දෙය සම්බන්ධයෙන් අදහසක් නැත.
ඉන්දියාව පෙන්වා දෙන්නේ නීතිවිරෝධී බංග්ලාදේශ සංක්රමණිකයන් හඳුනා ගැනීමට මෙම ලියාපදිංචි වැඩසටහන සිදුකරන බවයි.
එමෙන්ම, දැනටමත් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණි බොහෝ පිරිසක් රැඳවුම් කඳවුරුවල නවතා ඇති අතර, තවත් පිරිසක් සිරගත කර ඇති බව කියැවෙයි.