ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද විදාරණය වීමෙන් ඇති වූ සුනාමිය නිසා මියගිය පිරිස 373 දක්වා ඉහළ නැඟ තිබේ.
සුමාත්‍රා සහ ජාවා දූපත්වල වෙරළ තීරයන් හි ජීවත් වූවන් නොසිතූ මොහොතක ඇති වූ මෙම සුනාමිය විශාල උදම් රළක් රැගෙන ගොඩබිමට පැමිණි විට බොහෝදෙනා තම එදිනෙදා කටයුතුවල සාමාන්‍ය පරිදි යෙදී ඇත.
මෙම ගිනි කන්ද විදාරණය වීමත් සමග මුහුද අභ්‍යන්තරයේ සිදුවූ නායයෑමක් සමග මෙම ප්‍රබල උදම් රළ ඇතිවී තිබෙන බව මේ වනවිට අනාවරණය වෙයි.
මෙම ඛේදවාචකය නිසා තුවාල ලැබූවන් සංඛ්‍යාව 1,459 දක්වා ඉහළ නැඟ ඇති අතර, තවත් 128 දෙනෙකු තවමත් අතුරුදන් ලැයිස්තුවේ පසුවෙති. ඒ අනුව, උදම් රළට හසුව මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව බලධාරීහු පවසති.
මේ අතර, ගිනි කන්ද විදාරණය වීම තවදුරටත් සිදුවන නිසා වෙරළාසන්නයේ ජීවත්වන ජනතාවට හැකිතරම් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ තවදුරටත් සුනාමි අවදානම පහව ගොස් නොමැති බැවිනි.