IS ඉස්ලාම් රාජ්‍යයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදි උතුරුදිග සිරියාවේදී ඝාතනය වූ මෙහෙයුමේ වීඩියෝ දසුනක් පෙන්ටගනය ප්‍රකාශයට පත්කර තිබේ.
කළු සුදු වීඩියෝවට අනුව බග්දාදි පළා යාමට පෙර රැඳී සිටි ගොඩනැගිල්ලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ආකාරය මෙන්ම, ඒ ස්ථානයට පැමිණි සටන්කරුවන් පිරිසක් සුණු විසුණු වී යන ආකාරයෙන් ගුවන් ප්‍රහාර එල්ල වන ආකාරයද එම වීඩියෝ දසුන්වල දැක්වෙයි.
බග්දාදි උමං මාර්ගයක් තුළ සියදිවි නසාගැනීමෙන් පසුව ඔහු කලින් රැඳී සිටි නිවස සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටද එක්සත් ජනපද විශේෂ බලකාය කටයුතු කර තිබේ.
එමෙන්ම, ප්‍රහාරයේදී බග්දාදි සමග ඔහුගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව මුලින් සඳහන් වුවත්, එය දරුවන් දෙදෙනෙකු ලෙස නිවැරදි විය යුතු බවද ඇමෙරිකානු මධ්‍යම විධානයේ ජෙනරාල්වරයා පවසා සිටියි.
මේ අතර, ට්‍රම්ප් සඳහන් කළ ආකාරයට බග්දාදි කෑමොර දෙමින් දිවගියේද යන්නද හමුදා ප්‍රධානියා තහවුරු කර නැත. එහිදී, ඔහු සෙසු පිරිස ඉහළ සිටියදී දරුවන් දෙදෙනා සමග උමග තුළට දිවගිය බවද හෙතෙම සඳහන් කර ඇත.