ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබියදී අද (28 දා) පෙරවරුවේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඉකොනොමි පන්තියේ (අඩු මිල) එයාර් බස් A320-200 මාදිලියේ QZ8501 ගුවන් යානය පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
QZ8501 යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි ගුවන් මගීන් 155ක් ඇතුළුව කාර්ය මණ්ඩලයේ 7ක් සමගින් 162 දෙදෙනෙකු ගමන් කරමින් සිට තිබේ. ඒ අතර වැඩිහිටියන් 138ක්, ළමයින් 16ක් සහ සහ එක් ළදරුවෙකු සිට ඇති අතර, එහි ගමන්ගත් වැඩිම පිරිස ඉන්දුනීසියානු ජාතිකයන් බව කියැවෙයි. ඊට අමතරව, මැලේසියානු සහ සිංගප්පූරු ජාතිකයන් දෙදෙනක්, එක් ප්‍රංශ ජාතිකයෙක්, උතුරු කොරියානු ජාතිකයන් තිදෙනෙක්ද එහි ගමන් කරමින් සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සිංගප්පූරු වේලාවෙන් උදෑසන 8.30 ට පමණ සිංගප්පූරුව වෙත ළඟා වීමට නියමිතව තිබූ මෙම ගුවන් යානය පෙරවරු 6.24 ට පමණ එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බව එයාර් ඒෂියා ගුවන් සමාගම සඳහන් කරන අතර, ඉන්දුනීසියානු ගුවන් ප්‍රවාහන බලධාරීන්ද ගුවන් යානයට අදාළ අවසන් ස්ථානයේ පිහිටීම අනාවරණය කර තිබේ.
එමෙන්ම, යානයේ සුන්බුන් සොයා ගත් බවටද නිල නොලත් වාර්තා රැසක්ද ලැබෙමින් පවතී. යානයේ ගමන්ගත් මගීන්ගේ තොරතුරු දැනගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක්ද නිකුත් කර ඇති අතර, යානය අතුරුදහන්වීමට මොහොතකට පෙර ප්‍රධාන පාලක මධ්‍යස්ථානය සමගින් සම්බන්ධ වූ එහි ප්‍රධාන නියමුවා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් යානයේ පිහිටීම තවත් ඉහළට ගැනීමට අවසර ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාවත් QZ8501 ගුවන් යානය සෙවීම සඳහා ඉන්දුනීසියාව වෙත සිය සහාය ලබාදීමට පොරොන්දු ලබාදී තිබේ.
2014 වසර ගුවන් අනතුරු සම්බන්ධයෙන් වඩාත් කතාබහට ලක්වූ වසරක් වන අතර, මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ අතුරුදන් වීම මෙන්ම, MH17 යානයේ විනාශයද මිනිස් ජීවිත රැසක් අහිමි කරනු ලැබීය.