පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සිට ගොඩබිම් පාලක මැදිරිය වෙත අවසන් වරට කතා කර ඇත්තේ යානයේ සහායක නියමුවා බව මැලේසියානු බලධාරීහු විශ්වාස කරති.
ඒ අනුව, මෙම යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් යානයේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධතාවක් පවතීද යන්න පිළිබඳව එහි පරීක්ෂණයන් වෙනතකට යොමුවී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිටත් ගුවන් යානය සොයා සිදුකරන නිරීක්ෂණයන් දැවැන්ත ගුවන් කලාප දෙකක් ඔස්සේ විහිදී ඇති බවත්, යානය සෙවීමේ මෙහෙයුම්වලට රටවල් 26ක් සහාය ලැබෙන බවත් වාර්තා වෙයි.
මීට පෙර මැලේසියානු බලධාරීන් කියා සිටියේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා අක්රීය කරමින්, එය වෙනතකට හරවා ඇති බවයි.
මේ අතර, සහායක නියමුවාගෙන් මෙම අවසන් පණිවුඩය ලැබුණත්, යානයේ සන්නිවේදන පද්ධතිය අක්රීය කිරීමට පෙර හෝ පසුව එය සිදුවූවාද යන්න තවමත් පැහැදිලි නොමැති බවද කියැවෙයි.
පුද්ගලයන් 239 දෙනෙකු සමග මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 දරණ මෙම යානය අතුරුදන් වූයේ පසුගිය 8 වැනිදාය. යානය අතුරුදන්ව මේ වනවිට සතියකට වැඩි කාලයක් ගත වුවද, තවමත් යානය පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදීමට කිසිදු ජගතෙකු සමත් නොවීමද විමතිය දනවන්නක් වී තිබේ.