පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 යානය සෙවීමේ නිරතව සිටින කණ්ඩායම්වලට දකුණුදිග ඉන්දීය සාගරයේදී අසන්නට ලැබුණු සංඥා එම යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ ඒවා බවට දැඩි විශ්වාසයක් පවතින්නේ යැයි ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් පවසයි.
චීන භාෂාවෙන් අමතමින් අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ මේ වනවිට සෝදිසි මෙහෙයුම් කලාපයට බොහෝ සෙයින් පටු වී ඇති බවයි.
ඉන්දියන් සාගරයේ මෙහෙයුම්වල නිරත ඔස්ට්‍රේලියානු යුද නෞකාවක් අවස්ථා හතරකදී මෙම සංඥා ග්‍රහණය කර ගෙන ඇති බව බලධාරීන් පවසයි.
මේ අතර, චීනයෙන් මැලේසියානු සත්වෝද්‍යානයකට යැවීමට සිටි පැන්ඩාවුන් දෙදෙනෙකු එරටට නොයවා සිටීමටද චීනය කටයුතු කර ඇත. යානයේ ගමන්ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් චීන ජාතිකයන් වීම තුළ චීනය මෙම අර්බුදයේ ප්‍රබල කොටස්කරුවෙකු වී සිටියි.
පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් වී මේ වනවිට මාසයකට අධික කාලයක් ගතවී අවසන් වෙයි. නමුත්, යානයට සිදුවූ දේ තවමත් ලෝකයටම අභිරහසක්ව ඇත්තේ විසිඑක්වැනි ශතවර්ෂයේ මිනිසා ලැබූ තාක්ෂණික දියුණුවද අභියෝගයට ලක් කරමිනි.