පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය දකුණුදිග ඉන්දීය සාගරයේ කඩා වැටුණු ස්ථානය පිළිබඳ චන්ද්‍රිකා තොරතුරු සැපයූ ඉන්මාර්සැට් සමාගම පවසන්නේ, ඔවුන් විසින් නිශ්චිත වශයෙන්ම තහවුරු කරන ප්‍රදේශයේ ගුවන් යානය ඇති බවට විශ්වාස කරන බවයි.
මේ වනවිට ඉන්දීය සාගර පතුලේ සිතියම් කිරීම් සිදුවෙමින් සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර වුවද, නැවත සෝදිසි මෙහෙයුම් ආරම්භ වූ විට ඉන්මාර්සැට් සමාගම විසින් නිශ්චිත වශයෙන්ම තහවුරු කරන ප්‍රදේශය වඩාත් වැදගත් සෝදිසි ඉසව්වක් වනු ඇති බව කියැවෙයි.
යානය සමග සන්නිවේදන පැවැත්වූ දත්ත අනුව ඉන්මාර්සැට් චන්ද්‍රිකා දත්ත යානය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට ඇති සුවිශේෂී ඉඟියක් වනු ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත් තවත් කණ්ඩායම් විසින් තවත් සෝදිසි ඉසව් කිහිපයක යානය සොයා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ඇති බවද කියැවෙයි. මේ ඉසව් කවරක්ද යන්න තව නොබෝ දිනකින් ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙනු ඇති බව කියැවෙයි.
මැලේසියාවේ ක්වලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං බලා පසුගිය මාර්තු 8 වැනිදා ගමන් අරඹමින් පැයක පමණ කාලයකින් රේඩාර් තිරයෙන් අතුරුදන් වූ MH370 යානය අතුරුදන් වී ඊයේ (16දා) දිනයට දින 100ක් ගත වුවත් යානයට සිදුවූයේ කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී.