නෙදර්ලන්ත හා ඔස්ට්‍රේලියානු අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥයන්ගෙන් සමන්විත 70ක කණ්ඩායමක් නැගෙනහිර යුක්රේනයේදී MH17 ගුවන් යානය අනතුරට පත් ප්‍රදේශයේ තිබියදී මිනිස් ශරීර කොටස් කිහිපයක් සොයාගෙන ඇති බව පැවසෙයි.
මෙම කලාපය තුළ යානයේ සුන්බුන් හා එහි ගමන්ගත් මගීන්ගේ සිරුරු විසිරී ඇති කලාපය වර්ග කිලෝමීටර් 35ක පමණ වෙයි. එය නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදීන්ගේ පාලනයේ පවතින ප්රදේශයකි.
මීට පෙර මේ ආශ්‍රිතව සිදුකළ එරට සෝදිසි කණ්ඩායම්වලට යානයේ ගමන්ගත් 298 දෙනාගේ සිරුරුවලින් 227ක් හමුවී තිබුණු අතර, ඒවා හඳුනාගැනීම සඳහා නෙදර්ලන්තයට යැවිණි.
මේ අතර, MH17 අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අතර ඊයේ දුරකථන සාකච්ඡාවක් පැවති බව ධවල මන්දිරය පවසයි.
එහිදී, යුක්රේනයේ සිටින රුසියානු හිතවාදීන්ට රුසියාවෙන් සහයෝගය ලැබෙන්නේ යැයි තමන් තරයේ විශ්වාස කරන බව ඔබාමා පවසා ඇත්තේ, මේ අර්බුදය සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික විසඳුමකට යෑම සඳහා තවමත් කල් ඇති බව පෙන්වා දෙමිනි.
පසුගිය ජූලි 17 වැනිදා අනතුරට පත් MH17 මැලේසියානු බෝයිං 777 ගුවන් යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදී අනතුරට පත්වූ අතර, එය මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව තහවුරු විණි.
නමුත්, එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ද, එසේත් නැත්නම් යුක්රේන හමුදාව විසින්මද යන්න තවමත් නොවිසඳුණු පැනයක් වී තිබේ.