ෆියට් ක්රයිස්ලර් සමගමේ ජීප් සන්නාමය තමන් සතුකර ගැනීම සඳහා සාකච්ඡා නොකළ බව චීනයේ ප්රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ ග්රේට් වෝල් සමාගම පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු-ඉතාලි සමාගමක් වන ෆියට් ක්රයිස්ලර් සමාගම පිළිබඳ සොයා බැලීමක් සිදුකළත්, දෙපර්ශ්වය අතර ගනුදෙනුවක් සිදුවන සාකච්ඡාවක් සිදු නොවූ බව ග්රේට් වෝල් සමාගම වැඩිදුරටත් පවසයි.
චීනයේ, ෂැංහයි නුවර කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් ග්රේට් වෝල් සමාගම මෙම කරුණු අනාවරණය කර ඇත.
කෙසේ වෙතත්, පසුගිය සඳුදා දිනයේදී ග්රේට් වෝල් සමාගම පවසා තිබුණේ ෆියට් සමාගමේ සම්පූර්ණ අයිතිය හෝ ඉන් කොටසක් තමන් සතු කරගැනීමේ අදහසක් ඇති බවයි.
නමුත්, චීනයේ විශාලතම SUV රථ නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන ග්රේට් වෝල් නිකුත් කර ඇති මෙම නවතම නිවේදනයට අනුව ඔවුන් ගියර් මාරු කිරීමක් සිදුකර ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
තමන් ෆියට් ක්රයිස්ලර් සමාගමේ ප්රධාන විධායක නිලධාරියෙකු සමග සාකච්ඡා නොකළ බවත්, කිසිදු ලියවිල්ලකට අත්සන් නොකළ බවත් සඳහන් කළ ඔවුන්ගේ මෙම නිවේදනයත් සමග ෂැංහයි කොටස් වෙළෙඳ පොළෙහි එම සමාගමේ කොටසක අගය 2%කින් කඩා වැටී යළි යථාතත්ත්වයට පත්වූ බවද සඳහන් වෙයි.
ලෝකයේ හත් වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන ෆියට් ක්රයිස්ලර් සමාගම පවසා තිබුණේ ඔවුන් වෙත චීන සමාගමෙන් කිසිදු ගනුදෙනුවකට ඇරයුමක් නොලැබුණු බවයි.