ඉරාකයේ බටහිර අන්බාර් පළාත ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්රහණයට නතුවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බැවින් එම ප්රදේශය වෙත කඩිනම් ආරක්ෂාවක් සලසන ලෙස ඉරාක බලධාරීහු පවසති.
මේ වනවිටත්, ජිහාඩ් අන්තවාදීන් මෙම පළාතේ අගනගරය වන රමාදි වෙත දැනටමත් ප්රහාර එල්ල කර ඇති අතර, එහි හමුදා මූලස්ථානයද අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර, ඇමෙරිකානු බලධාරීන්ද පවසා සිටියේ අන්බාර් හි තත්ත්වය අවදානම් බවයි.
මෙම සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් මේ වනවිටත් ඉරාකයේ හා සිරියාවේ විශාල කොටසක බලය නතුකරගෙන සිටින අතර, ඔවුන් සිරියා තුර්කි දේශසීමාවේ පවතින කොබානේ නගරය අත්පත් කරගැනීම සඳහාද දැවැන්ත සටනක නිරත වන බව පැවසෙයි.
අන්බාර් පළාත මූලෝපාය වශයෙන් අතිශය වැදගත් ප්රදේශයක් ලෙස සැලකෙන අතර, ඉරාකයේ දෙවැනි විශාලතම වේල්ල ලෙස සැලකෙන හදීතා වේල්ලද මෙම පළාත තුළ පිහිටා ඇත.