IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මොසුල් නගරයේ ජීවත් වන මිනිසුන් හා පිරිමි දරුවන් 284 දෙනෙකු සමූල ඝාතනය කර ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
මොසුල් නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදාව හා ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාව සිදුකරන ප්රහාරයන් හිදී, ත්රස්තයන්ට එම ප්‍රහාරවලින් බේරීම සඳහා මිනිස් පළිහක් ලෙස යොදා ගැනීමෙන් මෙම සිවිල් වැසියන් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.
මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සමූහ වශයෙන් භූමදාන කිරීම සඳහා ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් බුල්ඩෝසරයක් භාවිත කර ඇති බවද බුද්ධි තොරතුරු උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
මියගිය වැඩි පිරිස වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර කුඩා පිරිමි දරුවන්ද සිටින බවත් නම සඳහන් නොකළ අයෙකු උපුටා දක්වමින් ඔවුන් වැඩිදුරටත් පවසයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මොසුල් නගරය ආසන්නයේ වූ පවුල් 550ක් පමණ ඉතා අමානුෂික ලෙස බලහත්කාරයෙන් ඉවත් කරගෙන ඔවුන් මිනිස් පළිහක් ආකාරයෙන් යොදාගැනීමට කටයුතු කරන බව පවසා තිබේ. ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මොසුල් නගරය වෙත පැමිණෙන ඉරාක හා කුර්දි හමුදාව ප්රමුඛ ඇමෙරිකානු ඒකාබද්ධ සන්ධානයේ ප්රහාරයන්ගෙන් වැළකීමට මෙම මිනිස් පළිහ යොදාගන්නා බවද එම පුවත් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
හිත්පිත් නැති ම්ලේච්ඡ ත්රස්තවාදීන් තමන් යුද බිමේදී අසරණ වනවිට ඉන් බේරීම සඳහා මිනිස් පළිහ යොදාගැනීම එදා කොටි ත්‍රස්තවාදීන්ද සිදුකළ බව නොරහසකි. නමුත්, මෙම ඇමෙරිකානු මාධ්‍ය හෝ එක්සත් ජාතීන් එදා එය ත්රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවක් ලෙස නොදැකීමත්, (අදද ඔවුන් එය නොදකී.) ඔවුන් මැදිහත්ව සිටින යුද්ධයේදී අද මෙවැනි මිනිස් පළිහ පිළිබඳ කතා කිරීම හා ඒවායෙහි අමානුෂික බව පිළිබඳ කඳුළු සැලීමත් හාස්‍යය උපදවන සුළුය.