ඇමෙරිකානු ඩිමොක්රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන FBI ප්‍රධානියා ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා එල්ල වී තිබේ.
හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩවලට අදාළ පරීක්ෂණ මූලික කරගනිමින් FBI ප්‍රධානී ජේම්ස් කෝමේට එරෙහිව මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකාර රොබී මූක් විසිනි.
විශේෂයෙන්ම ඊමේල් පණිවුඩ හැක් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග හරහා ඇමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමට රුසියාව යම් බලපෑම් එල්ල කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවට FBI ප්‍රධානියා සිදුකළ ප්‍රකාශයක් එරට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඩිමොක්රටික් පක්ෂය මෙම චෝදනා කිරීම අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, රුසියාව විසින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වාසිසහගත ලෙස ඩිමොක්රටික් අපේක්ෂිකාව ඉලක්ක කර ඇති බවටද චෝදනා නැගෙන බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයේ උප සභාපතිනිය ලෙස කටයුතු කළ හූමා අබෙදීන් සම්බන්ධව අලුතින් එළිදරව් කෙරුණු හිලරි සම්බන්ධ ඊමේල් පණිවුඩ ගැන පරීක්ෂණ පවත්වන බවට FBI ප්‍රධානී කොමේ පැවසීම හිලරිගේ මැතිවණ ව්‍යාපාරය දෙදරා යෑමට බලපෑ මෙම නවතම සිදුවීම බවට පත්ව තිබේ.
ඒ අනුව, එළැඹෙන නොවැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය අතිශය තියුණු මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.