කියුබාව සමීපයේදී 3 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස යම් සන්සුන් බවක් පෙන්වූ අ'ර්මා (ඉර්මා) සුළි කුණාටුව ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තය හමුවේ යළිත් වරක් 4 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් දක්වා ප්රචණ්ඩ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෑත ඉතිහාසයේ අත්ලාන්තික් කලාපය හරහා පැමිණෙන දරුණුතම සුළි කුණාටුවට මුහුණදීමට ඇමෙරිකානුවන්ට සිදුව තිබේ.
ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත පැයට කිලෝමීටර් 200 ඉක්මවන සුළං සමග පැමිණෙන සුළි කුණාටුවෙන් බේරීම සඳහා ලක්ෂ 63කට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම සිදුවූ අතර, තවත් බොහෝ පිරිසක් කුණාටුවෙන් බේරී පළායාමට නොහැකිව මෙන්ම, තවත් පිරිසක් ස්ව-කැමැත්තෙන්ම තම ගම්බිම් අත්නොහැර රැඳී සිටින බවද විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, සුළි කුණාටුවෙන් බේරීම සඳහා දැනට ෆ්ලොරීඩාවෙන් ඉවත්කර ඇති ජනගහනය ප්‍රාන්තයේ සමස්ත ජනගහනයෙන් 30%ක් බවද කියැවෙයි.
ෆ්ලොරීඩා ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මේ වනවිට සුළි කුණාටුව ෆ්ලොරීඩාවට ඇතුළු වෙමින් පවතින නිසා ඉවත්ව යෑමට නොහැකි වූ පිරිස් වාහනවල නැගී බේරීයෑමට උත්සාහ නොකර හැකි තරම් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටිමින් කටයුතු කරන ලෙසයි.
මේ අතර, කැරීබියානු දූපත් කලාපයට 5 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස ඇතුළු වූ අවස්ථාවේ සිට මේ දක්වා අ'ර්මා සුළි කුණාටුව හේතුවෙන් හා පසුව ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 25කි.
එමෙන්ම, සුළි කුණටුව හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට විදුලිබලය දැනටමත් අහිමි බව කියැවේ.