නැගෙනහිර ඉන්දියාවේ පුද්ගලයන් 400,000කට පමණ සිය ගම්බිම් අත්හැරීමට සිදුවූ හුඩ් හුඩ් සුළි කුණාටුවෙන් පසුව සහන සේවා මේ වනවිට ආරම්භ වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් සුළි කුණාටුව හේතුවෙන් අන්ද්‍රා ප්‍රදේශ් හා ඔරිස්සා යන ප්‍රාන්තවල ජීවිත 8ක් පමණ බිලිගෙන තිබේ.
මෙම කලාපය හරහා ඊයේ දිනයේදී පැයට කිලෝ මීටර් 205 ක පමණ උපරිම වේගයකින් සුළි කුණාටුව හමාගිය බව එරට කාලගුණ විද්‍යා අංශ පවසයි.
කෙසේ වෙතත්, මේ වනවිට කුණාටුවේ ප්රචණ්ඩත්වය අඩු වී ඇති නමුත් ඇද හැලෙන තද වැසි හේතුවෙන් සහන සේවාවලට දිගින් දිගටම බාධා පැමිණ ඇති බව කියැවෙයි.
එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ, කුණාටුවෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශවල ගස් කඩා වැටී තිබෙනු දක්නට ඇති අතර ගොඩනැගිලිවල ජනේල බිඳී වහළ සුළඟේ ගාසා ගෙන ගොස් ඇති බවයි.
බලධාරීන් පෙන්වා දෙන පරිදි මෙතරම් දරුණු සුළි කුණාටුවක් වුවත් ජනතාව කල්තියා ඉවත් කිරීමට පියවර ගැනීමෙන් ජීවිත හානි අවම කරගැනීමට හැකිවී තිබේ.