හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍යය මැයි මස 19 වැනිදා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් බව බ්‍රිතාන්‍ය රාජකීය පවුල නිවේදනය කරයි.
දෙවැනි එළිසබෙත් රැජිනගේ මුණුපුරා සහ ඔටුන්න හිමි වේල්සයේ චාර්ල්ස් කුමරුගේත්, නැසීගිය ඩයනා කුමරියගේත් කණිටු පුත් හැරී කුමරු මෙලෙස අතිනත ගන්නේ හොලිවුඩ් තාරකාවක් වන මේගන් මාර්කල් සමගිනි.
බ්‍රිතාන්‍ය රාජකීය ඔටුන්නේ හය වැනි හිමිකරුවා වන හැරීට, මේගන් මුලින්ම හමුවී තිබුණේ වර්ෂ 2016 දීය.
මෙම රාජකීය විවාහ මංගල උත්සවය ලන්ඩනයෙන් කිලෝමීටර් 34ක් පමණ බටහිරට වන්නට පිහිටි වින්ඩ්සර් මාලිගයේ, සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේදී ආරම්භ වනු ඇත.
දේවස්ථානයේ කටයුතුවලින් අනතුරුව අලුත විවාහපත් යුවළ වින්ඩ්සර් නගරය හරහා අශ්ව කරත්ත රැගත් පෙරහරකින් ගමන් කිරීමට නියමිතය.
මෙහිදී, හැරී සහ මේගන් විසින් ඇස්කොට් ලැන්ඩෝව් අශ්ව කරත්තයක් තෝරාගෙන ඇති බවද වාර්තා වෙයි.
අනතුරුව වින්ඩ්සර් මාලිගයේ වූ සෙන්ට් ජෝර්ජ්ස් ශාලාවේදී මංගල භෝජන සංග්‍රහය පැවැත්වෙනු ඇති අතර, දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ආරාධිතයන් 600ක් පමණ සහභාගී වනු ඇත.
අනතුරුව සවස් කාලයේදී යුවළ සිය සමීපතම මිතුරු මිතුරියන් ඇතුළු 200ක පමණ පිරිසක් සමග ෆ්‍රොග්මෝර් හවුස් හිදී තවත් සාදයක් පවත්වනු ඇති බව කියැවෙයි.
මෙය නව රාජකීයයන්ගේ නවාතැන වන අතර, ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගන්නා අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූපයට පසුබිම් වූයේද මෙම ස්ථානයයි.
කෙසේ වෙතත්, මෙම විවාහ මංගල උත්සවය සජීවිව ලොව පුරා විකාශය වුවත්, එය හැරිගේ වැඩිමහලු සහෝදරයා වූ විලියම් සහ කේට් විවාහය තරම් වැඩි උනන්දුවකින් ලෝකයා නරඹන විවාහ මංගල්‍යයක් නොවනු ඇති බවටද මත පවතී.
2011 වසරේදී පැවති එම විවාහ මංගල උත්සවය බ්‍රිතාන්‍ය තුළ මිලියන 24ක පිරිසක් නරඹා තිබුණත්, 1997 වසරේදී ඩයනා කුමරියගේ අවමංගල්‍යය බ්‍රිතාන්‍ය වැසියන් මිලියන 32.1ක් නරඹා තිබුණි.