ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි සුළි කුණාටුව සමග ඇති වූ ධාරාණිපාත වර්ෂාවෙන් පසුව දරුණු ගංවතුර තත්ත්වයක් මතුව ඇති බවත්, මේ වනවිට ජීවිත 2000ක් පමණ බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ගංවතුර තත්ත්වය සමග බොහෝ පිරිසක් වාහනවල සිරවී සිටින බවත්, ඔවුන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත් බලධාරීහු පවසති.
මේ අතර, ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පවසා සිටියේ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලබාදීමට තවමත් හැකියාවක් නොමැති බවයි.
මේ අතර, ඇමෙරිකානු ජාතික කාලගුණ සේවය පවසා සිටියේ මෙය නොසිතූ හා බලාපොරොත්තු නොවූ ආකාරයේ අයහපත් කාලගුණ තත්ත්වයක් බවයි.
එහිදී, හූස්ටන් නගර කලාපයේ ක්ෂණිකව දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ප්‍රදේශයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබේ.
ඒ අනුව, විපතට පත්වූවන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා කඳවුරු රැසක් දැනටමත් විවෘත කර ඇති බවද ටෙක්සාස් බලධාරීහු පවසති.
ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ප්‍රධාන මාර්ග 250ක් වසා දමා ඇති අතර, හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ජාතික කාලගුණ සේවයට අනුව මරණ 5ක් පිළිබඳව සඳහන් වුවත්, තවමත් තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව මරණ 2ක් බව සඳහන් වෙයි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය තව දින කිහිපයක් බලපැවැත්විය හැකි බැවින් සියලු දෙනාට මාර්ග වෙත නොපැමිණ, හැකිතාක් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබේ.