හාවි සුළි කුණාටුව සමග ආරම්භ වී ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇමෙරිකවේ, ටෙක්සාස් ප්‍රාන්තයට වාර්තාගත ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් අනතුරු අඟවයි.
ඔහු සඳහන් කරන්නේ හූස්ටන් සහ කෝර්පස් ක්‍රිස්ටි නගර වෙත දැනටමත් සෙ.මී.50ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
තවදුරටත් සුළි කුණාටුව සක්‍රීයව පවතින බැවින් සෙ.මී.100ක පමණ වාර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවද ආණ්ඩුකාරවරයා අනතුරු අඟවයි.
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ කටයුතුද ඇණහිට ඇති අතර, දහස් සංඛ්‍යාත පිරිසක් විදුලිය නොමැතිව කල් ගෙවන බව වාර්තා වෙයි.
එමෙන්ම, මේ වනවිට ආපදා තත්ත්වය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වන අතර, එම මරණ හූස්ටන් හා රොක්පෝර්ට් නගරවලින් වාර්තා වෙයි.
4 වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස ටෙක්සාස් ප්‍රාන්තයට ඇතුළු වූ හාවි, මේ වනවිට 3 වැනි මට්ටමට පැමිණ තිබුණත් ඒ තුළින් සිදුව ඇති දේපොළ හානිය සුළුපටු නොවන බවද කියැවෙයි. ගොඩනැගිලි වෙත බලපෑ හානි, ගස් කඩා වැටීම් මෙන්ම, වරායවල නැංගුරාම් ලා තැබූ යාත්‍රා රැසකට සිදුවූ අලාභානි නිසා හාවි විසින් විශාල ආර්ථික හානියක් සිදුකරනු ඇති බවද සඳහන් වෙයි.
ඇමෙරිකාවේ සිව්වැනි විශාලත නගරය ලෙස සැලකෙන හූස්ටන් වෙත පැයකට සෙ.මී. 05 - 7.5ත් අතර ප්‍රමාණයක වර්ෂාවක් ලැබී ඇති අතර, හූස්ටන් නගරයට දකුණින් වූ බන්ධනාගාරයක සිටි රැඳවූවන් 4,500ක් පමණ වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට කටයුතු කර තිබේ. ඒ ආසන්නයේ වූ බ්රාසෝස් ගංගාව පිටාර ගැලීමේ අවදානක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.