ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපතේ පිහිටි කිලාවියා ගිනි කන්ද විදාරණය වීමෙන් නිවාස 30කට ආසන්න ප්රමාණයක් සම්පූර්ණයෙන් විනාශ කරමින්, තවත් නිවාස රැසකට තර්ජන එල්ල කරමින් පවතී.
මෙම ගිනි කන්ද විදාරණය වීමත් සමග ඒ ආසන්නයේ ජීවත් වූ 2,000කට ආසන්න පිරිසක් ඉවත්ව ගොස් තිබුණු අතර, තම සුරතල් සතුන් හා පශු සම්පත් ආරක්ෂා කිරීමට ඇතැම් පිරිස් එහි රැඳී සිටි බවද කියැවෙයි.
කෙසේ වෙතත්, එය එතරම් ආරක්ෂිත තත්ත්වයක් නොවන බව බලධාරීන් අනතුරු අඟවා තිබුණි.
විදාරණය වන ගිනි කන්දෙන් අඩි 230ක් පමණ ඉහළට ලාවා විදීමක් සිදුවූ බවද සිද්ධිය නිරීක්ෂණය කරන කණ්ඩායම් පෙන්වා දෙයි.
මේ අතර, මෙම දූපත පසුගිය සිකුරාදා රික්ටර් පරිමාණ 6.9ක ප්රබල භූ කම්පනයකටද මුහුණ දෙනු ලැබීය.