ජපාන අගමැති ෂින්සෝ අබේ විසින් කැඳවූ හදිසි මැතිවරණය ආරම්භ වෙමින් ඊයේ (22දා) ජපාන ජාතිකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියාවෙන් වර්තමානයේ එල්ල වන න්‍යෂ්ටික අභියෝග හමුවේ කැඳවුණු මෙම හදිසි මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණක් ලබාගැනීමට අගමැති ෂින්සෝ අබේ බලාපොරොත්තු වෙයි.
විශේෂයෙන්ම, ජපානයේ විපක්ෂය අතිශය දුර්වල මට්ටමක පවතින වාතාවරණයක මෙන්ම, උතුරු කොරියානු බලපෑම් හමුවේ සෘජුව නැගී සිටින නායකයෙකු ලෙස අබේ මෙම මැතිවරණයට මුහුණදීමද ඔහුට වාසිදායක වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙවර මැතිවරණයේදී ටෝකියෝ නගරාධිපති යුරිකෝ කොයිකේ විසින්, අගමැති ෂින්සෝ අබේ වෙත පැහැදිලි තරගයක් ලබාදෙනු ඇති බව කියවුණත් ඇය මැතිවරණයට ඉදිරිපත් නොවන බව පැවසීමෙන් වත්මන් අගමැතිවරයාට පැවති ප්රබලතම අභියෝගයද ඔහුට තවදුරටත් අභියෝගයක් නොවන බව තහවුරු විය.
ඒ අනුව, මෙවර මැතිවරණයේදී අගමැති ෂින්සෝ අබේගේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂය හැර විකල්පයක් ජපාන ජාතිකයන්ට නොමැති බව විචාරකයෝ පවසති. මේ තත්ත්වය තුළ තම පක්ෂයට තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවනු ඇති බව අබේ විශ්වාස කරන අතර, මෙය ව්‍යවස්ථාමය වෙනසක් සඳහා යොදා ගැනීමටද අබේ බලාපොරොත්තුවෙන් සිටියි.
මේ අතර, ජපානයේ මැතිවරණය පැවැත්වෙන අතරවාරයේදී ලෑන් සුළි කුණාටුව සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස ජපානයේ දකුණුදිග ප්‍රදේශයට බලපෑම් කරමින් සිටියි. කෙසේ වෙතත්, මේ හේතුවෙන් මෙතෙක් මැතිවරණයට ප්‍රබල බලපෑමක් සිදුවූ බවක් වාර්තා නොවෙයි.