මුස්ලිම් බැතිමතුන්ගේ හජ් වන්දනා සමය ආරම්භ වුවත්, කටාර් වැසියන්ට මෙවර හජ් වන්දනා සිහිනය බොඳව ගොස් ඇති බව විදෙස් වාර්තාපවසයි.
පසුගිය ජූනි මාසයේදී සෞදි අරාබිය ප්රමුඛ අරාබි රාජ්‍යයන් කිහිපයක් විසින් කටාර් රාජ්‍යය සමග පැවති සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුදකාරී වටපිටාව නිර්මාණය විය.
කටාරය මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානවලට ආධාර සපයන බවට චෝදනා කරමින් අරාබි රාජ්‍යයන් මෙම පියවර ගනු ලැබීය.
කෙසේ වෙතත්, හජ් වන්දනාව සම්බන්ධයෙන් පසුගිය මාසයේදී සෞදිය හා කටාරය අතර යම් අවබෝධතාවක් ඇතිකරගනු ලැබුවත්, ඔවුන් කටාර් වැසියන්ට නීති මාලාවක් පිළිපදින ලෙස දන්වා තිබේ.
ඒ අනුව, සෞදිය වෙත පැමිණෙන ගුවන් යානා භාවිතයේ සිට වීසා ලබාදීම සහ එරට තුළ රැඳී සිටීම දක්වා වූ මෙම නීති මාලාව හජ් වන්දනාව දේශපාලනීකරණයට සෞදිය ගත් පියවරක් බවට කටාරය චෝදනා කරයි.
මෙම අර්බුදය ඇතිවීමට පෙර සිටම බොහෝ වන්දනාකරුවන් හජ් වන්දනා සංවිධායකයන්ට මුදල් ගෙවමින් සිය චාරිකාව සංවිධානය කරගැනීමට කටයුතු කළත්, මෙම නීති මාලාව හමුවේ එම සංවිධායකයන්ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද දැනගන්නට ලැබේ.
මෙවර හජ් වන්දනාව වෙනුවෙන් මිලියන දෙකක පමණ ජනතාවක් ලොව පුරා මුස්ලිම් රටවලින් හා සෙසු රටවලින් පැමිණෙනු ඇති බව ගණන් බලා තිබේ.
අගෝස්තු 30 සිට සැප්තැම්බර් 04 වැනිදා දක්වා හජ් වන්දනාව පැවැත්වෙන අතර, මෙම ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට සෞදි අරාබිය පෙරට වඩා සූදානමින් සිටියි.
2015 වසරේදී හජ් වන්දනාව අතර තුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 2,400ක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 464 දෙනෙකුම ඉරාන ජාතිකයන් විය.