සෞදිය ප්රමුඛ අරාබි රාජ්‍යයන්, කටාරය සමග පවතින අර්බුදකාරී වාතාවරණය නිමාවට පත්කිරීම වෙනුවෙන් සෞදි හා කටාර් නායකයන් අතර පැවති පළමු දුරකථන සංවාදයේ තොරතුරු සාවද්‍ය ලෙස කටාර් මාධ්‍ය පළ කිරීමට විරෝධය පෑමක් ලෙස එරට සමග පැවති සියලු සන්නිවේදන කටයුතුද නවතා දැමීමට සෞදිය තීරණය කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගල්ෆ් රාජ්‍යයන් වෙත දුරකථනයෙන් කතා කරමින් අවධාරණය කර තිබුණේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමාවට පත්කරමින් ඉරානයට එරෙහිව සියලු රාජ්‍යයන් එක්සත්ව කටයුතු කළ යුතු බවයි.
සෞදි හා කටාර් බලධාරීන් අතර පළමු දුරකථන සංවාදය ඇති වූයේ ඉන් අනතුරුවය. පසුගිය සිකුරාදා දිනයේදී දෙරටේ බලධාරීන් අතර දුරකථන සංවාදය ඇති වූ අතර, සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් කටාරය සමග සියලු රාජතාන්ත්‍රික හා වෙළෙඳ සබඳතා නැවැත්වීමට ගත් පියවර මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබුණි.
එහිදී, මේ සම්බන්ධ සාකච්ඡාමය විසඳුමකට සෞදිය මුලින් එකඟත්වය පළ කර තිබුණද, පසුව එරට රජයේ පුවත් ඒජන්සිය විසින් කටාරය සමග පවතින සියලු සන්නිවේදන කටයුතු නවතා දැමූ බව පවසා තිබේ. ඔවුන් මීට හේතු වශයෙන් පෙන්වා දී ඇත්තේ දෙරටේ බලධාරීන් අතර පැවති සාකච්ඡාව පිළිබඳව කටාරය සාවද්‍ය තොරතුරු වාර්තා කළේ යැයි පවසමිනි.
ඒ අනුව, ගලෆ් කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමාවට පත්කිරීම සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් උත්සාහයද යම් පසුබෑමකට ලක්ව ඇති බව පැහැදිලිය.