මාස හතක් පුරා ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය දක්වා සූර්ය හා විදුලි බලශක්ති ත්රීවීලරයකින් ගමන් කරන ඉන්දියානු ජාතික ඉංජිනේරුවා ප්‍රංශයේදී මංපැහැරීමකට ලක්ව තිබේ.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව නවීන් රබෙල්ලී නමැති මෙම ඉන්දියානු ජාතික ඉංජිනේරුවා මෙම නවතම ලෝක සංචාරය සිදුකරමින් සිටියි.
කෙසේ වෙතත්, ඔහු ප්‍රංශය හරහා ගමන් කරමින් සිටියදී, හදිසියේ වැසිකිලියකට ගිය අවස්ථාවකදී ඔහුගේ ත්‍රීවීලරය තුළ තිබී සිය ගුවන්ගමන් බලපත්‍රය හා මුදල් පසුම්බිය කිසිවෙකු විසින් සොරකම් කරගෙන ඇත.
මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගයෙන් සිය ගමන අවසන් කිරීමට බලාපොරොත්තුව සිටි නවීන් මේ හේතුව නිසා දැනට ප්‍රංශයට වී සිටින්නේ තමන් වෙත අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් ලැබෙන තුරුය.
ඔහු මෙම සංචාරය තුළදී ඉරානය, තුර්කිය, ග්‍රීසිය, බල්ගේරියාව, සර්බියාව, ඔස්ට්‍රියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ප්‍රංශය යන රටවල දැනටමත් සිය ත්‍රීවිලරයේ නැගී ගමන් කර ඇත.
ඉන්දියානු මහින්ද්‍රා රෙවා සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන 35 හැවිරිදි නවීන් ඔස්ට්‍රේලියානු ජාතිකත්වයක්ද ලැබූවෙකි.
ඇ.ඩො.1,500ක ඩීසල් ත්‍රීවීලරයක් මිලදී ගත් ඔහු, තවත් ඇ.ඩො.11,500ක් වැය කර එය සූර්ය හා විදුලි බලශක්තියෙන් ක්‍රියාත්මක වන ත්‍රීවීලරයක් බවට පරිවර්තනය කර තිබේ. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් බව නවීණ් කියයි.
මෙම ත්‍රීවීලරය තුළ ඇඳක් මෙන්ම, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උදුනක්ද වෙයි.