අ'ර්මා (ඉර්මා) සුළි කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්තය වෙත දැඩි බලපෑමක් කරමින් ගස් කඩා වැටීම්, විදුලි රැහැන් ඇද වැටීම්, ගංවතුර තත්ත්වයන් ඇතුළු හානි රැසක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අඩි 15ක පමණ උස සුළි ඇති කරමින් පැමිණි කුණාටුව ෆ්ලොරීඩාවේ බටහිර වෙරළ කලාපයේ මාර්කෝ දූපත් වෙත ඇතුළු වෙමින් ප්රධාන ගොඩබිම වෙත ඇතුළු වූ අතර, ඒ වනවිට පැයට කිලෝමීටර් 105ක් පමණ සුළං වේගයක් සමග 2 වැනි ප්රවර්ගයේ සුළි කුණාටුවක් තරමට එහි සුළං වේගය අඩුවීම යම් අස්වැසිල්ලක් ගෙනදී තිබුණි.
කෙසේ වෙතත්, සුළි කුණාටුව හේතුවෙන් ප්රාන්තය තුළ නිවාස මිලියන 2.5කට පමණ විදුලිය නොමැති අතර, මියාමි නගරයේ කොටසක් සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී තිබේ.
එමෙන්ම, සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවේ මරණ 3ක් මේ දක්වා වාර්තා වී තිබේ.
ෆ්ලොරිඩා ප්රාන්තයේ ලක්ෂ 63ක ජනතාවක් කුණාටුවට පෙර ඉවත්කිරීමට කටයුතු කළ අතර, තවත් පිරිසක් ස්ව කැමැත්තෙන්ම සිය නිවාසවල රැඳී සිටියහ. එමෙන්ම, කුණාටුව ආරම්භ වනවිට සෙසු පිරිස්වලට පිටව යාමෙන් වළකින ලෙසද ප්රාන්ත බලධාරීන් දැනුම්දෙනු ලැබීය.
එමෙන්ම, ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ප්රධාන ආපදා ප්රකාශනයක් සහ හදිසි තත්ත්වයක් ප්රාන්තය වෙත ප්රකාශයට පත්කරමින් කඩිනම් ෆෙඩරල් ආධාර ලබාදීමට කටයුතු කර තිබේ.
මෙය යෝධ රාක්ෂයෙකු ලෙස අර්ථ දක්වා අති ට්රම්ප්, සුළි කුණාටුව සමග ජනතාව බේරාගැනීමේ හා සෙසු මෙහෙයුම්වල නිරත රාජ්ය ආයතන වෙත සිය කෘතඥතාව දක්වා තිබේ. එමෙන්ම, තමන්ද ප්රාන්තය වෙත කඩිනමින් පැමිණෙන බව දන්වා ඇත.
"කුණාටුව තරමක් බටහිර දෙසට ගමන් කිරීම නිසා අපි වාසනාවන්ත වුණා. ඒ නිසා සිදුවීමට ගිය හානිය අවම වුණා. නමුත්, ඉදිරි පැය කිහිපය තුළ එහි හැසිරීම ගැන අපි අවධානයෙන් පසුවිය යුතුයි" ට්රම්ප් සඳහන් කර ඇත.
මේ වනවිට සුළි කුණාටුවේ වේගය ක්රමයෙන් ආඩලවෙමින් පැවතියද එහි ප්රබල සුළං ධාරා තවදුරටත් පවතින ඇති බවද කියැවෙයි.
අද දිනයේදී කුණාටුව උතුරුදිග ෆ්ලොරීඩාවට සහ නිරිතදිග ජෝර්ජියාවට පැමිණෙනු ඇති බවත්, ඒ වනවිට සුළං වේගය බොහෝ සෙයින් අඩුවී තිබිය හැකි බවත් විශ්වාස කෙරෙයි.