සිරියානු අර්බුදය විසින් එරට ළමා පරපුරට ඇති කර තිබෙන ආතතිය මෙතෙකැයි කියා කිව නොහැක. මේ හද සසල කරවන ඡායාරූපය ඒ ආතතිය ඔබේ සිත තුළද මොහොතක් ඇති කරවන්නක් යැයි පැවසීමද අතිශෝක්තියක් නොවනු ඇත.
සිරියානු ගැටුම් හේතුවෙන් ජෝර්දානය වෙත පළායමින් සිටින මිනිසුන් අතර වැලිකතරේ අතරමංව සිටි පුංචි කොලු පැටියා සොයන්නේ තම මවය. පුංචි සෙල්ලම් බඩු කිහිපයක් හා ඇඳුම් දෙක තුනක් ඔබාගත් පුංචි මල්ලක් අතින් එල්ලාගෙන ඔහු පැමිණියේ සරණක් සොයාගෙනය. නමුත්, ඒ එන අතරේ ඔහුට සිටි එකම සරණ, නැත්නම් ඔහුගේ අම්මාද ඔහුට මගහැරී ඇත.
මේ පුංචි කොලු පැටියාගේ නම මාර්වන්ය. සරියානු හා ජෝර්දාන දේශසීමාව අසල වැලිකතරේදි මාර්වන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් කිහිප දෙනෙකු මුණ ගැසුනේ ඔහුගේ වාසනාවටය.
මාර්වන්ට කිට්ටු වෙමින් ඔහුගෙන් තතු විමසා බැලීමට නිලධාරීන් උත්සාහ කළේය. නමුත්, ඔහු වචන පිටකළේ නැත. හිස වැනුවේ නැත. තම මල්ලද අතින් එල්ලාගෙන ඔහු පුංචි පියවර කිහිපයක් ඉදිරියට තැබුවේ අම්මා සිටියා නම් කියාය.
අවසානයේ එහි සිටි කාන්තා නිලධාරිනයක් පැමිණ මාර්වන් සමග කතා කිරීමට උත්සාහ කළාය. එවර ඔහු තරමක අස්වැසිල්ලක් ලැබුවා විය හැකිය. තම මවගේ රැකවරණය නැතත්, අම්මා වැනිම අම්මා කෙනෙකු පැමිණියා කියා ඔහු සිතන්නට ඇත. මේ පුංචි කොලු පැටියාගේ නම මාවන් කියා දැනගත්තේ ඉන් පසුවය.
අම්මා සහ සහෝදර සහෝදරියන් සමග ගැටුම්වලින් මිදී සිරියාවේ සිට පැමිණෙන විට තමාව මහහැරුණු බව ඔහු පැවසුවේය. අවසානයේ, එහි සිටි නිලධාරියෙක් පුංචි මාර්වන්ව වඩා ගත්තේ ඔහුට දැන් රැකවරණය ලැබී ඇති බව නොකියා කියමින්ය. ඒ අයුරින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමග දේශසීමාව තරණය කළ පුංචි මාර්වන්ව රැගෙන ගියේ ජෝර්දාන සරණාගත කඳවුර වෙතය.
කෙසේ වෙතත් මේ වනවිට සුබ ආරංචියක් ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් පවසන්නේ, සරණාගත කඳවුරේදී මාර්වන්ගේ මව සොයා ගැනීමට හැකිවූ බව පවසමිනි.
අද පුංචි මාර්වන්ට සිය මව සොයාගැනීමට හැකි වුවත්, යුද්ධය නිසා ඔහු වැනිම මල් වැනි පුංචි දරුවන්ට මේ බලලෝභී දේශපාලඥයන් හා අඥාන මිනිසුන් උරුමකර දෙන අනාගතය කුමක්ද?