සිරියානු කැරලිකරුවන්ගේ ග්රහණයේ පවතින ගොඩනැගිලි සංකීර්ණයක් වෙත එල්ල කෙරුණු ගුවන් ප්රහාරයකින් පුද්ගලයන් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මෙම මස පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලට පෙර සූදානමක් ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු ඩමස්කස් නුවරට ගොස් සිටින අවස්ථාවකදීම මෙම ප්රහාරය එල්ල විය.
ගුවන් ප්රහාරය රුසියානු යානයකින් සිදුවූවක් බව විශ්වාස කෙරෙන අතර, ඉඩ්ලිබ් පළාතේ, මරාත් අල්-නුමාන් නගරයේ පිහිටි අධිකරණ ශාලාවකට හා බන්ධනාගාරයකට මෙම ප්රහාරය එල්ල වී තිබේ.
මෙම අධිකරණ ශාලාව අල්-කයිඩා සංවිධානය හා සම්බන්ධ නුස්රා පෙරමුණ විසින් පවත්වාගෙන ගිය අධිකරණයක් බව කියැවෙයි.
සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද් වෙත සහාය දැක්වීමක් ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේ සිට රුසියාව විසින් සිරියාව වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙහිදී විනාශයට පත් ගොඩනැගිලි වෙත මිසයිල ප්රහාර හතරක් එල්ල වී ඇති බවද කියැවෙයි.