සිම්බාබ්වේ හමුදාව විසින් එරට පාලන බලය සියතට ගෙන ජනපති රොබට් මුගාබේ නිවාස අඩස්සියේ තබාගෙන සිටීම බැලූ බැල්මට හමුදා කුමන්ත්‍රණයක් බව අප්‍රිකානු සංගමය පවසයි.
අප්‍රිකානු සංගමයේ ප්‍රධානී ඇල්ෆා කොන්ඩේ පවසා සිටියේ රට තුළ කඩිනමින් ව්‍යවස්ථාපිත ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස සංගමය ලෙස සිම්බාබ්වේ රාජ්‍යයට බලකර සිටින බවයි.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ හමුදා මෙය හමුදා කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දැක්වීමට අකැමැත්ත ප්‍රකාශ කරන අතර, ඔවුන් පවසන්නේ ජනපති මුගාබේ නිරුපද්‍රිතව හා ආරක්ෂිතව සිටින බවයි. ජනාධිපතිවරයා වටා සිටින අපරාධකරුවන්ගෙන් ඔහු බේරාගැනීමේ මෙහෙයුමක් පමණක් ක්‍රියාත්මක වන බව හමුදාව කියයි.
මුගාබේ ජනාධිපතිවරයාගෙන් පසුව එරට ජනාධිපති ධුරයට පත්වන්නේ කවුද යන්න සම්බන්ධයෙන් එරට තුළ බල අරගලයක් පැවති අවස්ථාවක මෙම හමුදාමය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙයි.
විශේෂයෙන්ම, එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එමර්සන් මනන්ගාවා ධුරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා පසුගිය සතියේ කටයුතු කිරීමත් සමග තත්ත්වය උග්‍ර අතට හැරුණි. ඔහු වෙනුවට ජනාධිපති ආර්යා ග්‍රේස් උප ජනාධිපතිවරයා ලෙස පත්කිරීම ඔහුගේ වැඩපිළිවෙළ වී තිබුණි.
කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ එරට ප්‍රධාන හමුදා නායකයන් සියලු දෙනා එක් පැත්තක් ගනිමින් ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ චෝදනා කරන්නට විය.
1980 වසරේදී සිම්බාබ්වේ දේශය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමේ සිට මේ දක්වා එරට දේශපාලනය සියතට ගත් මුගාබේ 93 වැනි වියෙහි පසුවෙයි.