ස්ත්‍රී දූෂණයකට වරදකරු වූ විවාදයට තුඩුදුන් ඉන්දීය පූජක ගුර්මීත් රාම් රහීම් සිං වෙත වසර 20ක සිර දඬුවමක් පණවා තිබේ.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට මොහොතකට පෙරත් ඔහුගේ අනුගාමිකයන් විසින් මෝටර් රථයක් ගිනිබත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ, පන්ච්කූලා හිදී තීන්දුව ප්‍රකාශ වීමේ සිට මේ දක්වා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් සියලුදෙනාම පාහේ මෙම පූජකවරයාගේ අනුගාමිකයන්ය.
තමා විසින්ම පූජකයෙකු ලෙස පෙනී සිට අනුගාමිකයන් දහස් ගණනින් එක්රැස් කරගෙන සිටින මොහු, මීට වසර කිහිපයකට පෙර ඔහු වෙත පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිංසන සිදුකර තිබූ බව කියවුණි.
ඒ අනුව, ඔහුට එරෙහිව ගෙනයනු ලැබූ මෙම නඩු විභාගය අවසානයේදී ස්ත්‍රී දූෂණයකට වසර 10 බැගින් වසර 20ක සිර දඬුවමකට යටත් වීමට ඔහුට සිදුව ඇති අතර, එය අනුපූර්ව ලෙස විඳීමට ඔහුට සිදුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, අභිචෝදකයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි.
පූජකවරයා අතින් හිංසනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් පවසන්නේ මෙම නඩු තීන්දුවත් සමග තවත් කාන්තාවන් 50ක් පමණ මෙම පුද්ගලයාගෙන් සිදුවූ හිංසන පිළිබඳ පැවසීමට පෙළගැසී සිටින බවයි.
ඒ අනුව, මොහුට ඉදිරියේදී තවත් නඩු විභාග වෙනු ඇති අතර, ජීවිතාන්තය දක්වාම සිර දඬුවමකට යටත්වීමට සිදුවනු ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම තීන්දුව සමග ප්‍රකෝප වී ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන ඔහුගේ අනුගාමිකයන් පාලනය කිරීම සඳහා අමතර හමුදාව යොදවා ඇති අතර, හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පවා පණවා තිබේ.
පොප් තරුවක මෙන්ම, සිනමා තාරකාවක් ලෙසද ඇතැම් අවස්ථාවල කලඑළි බැස ඇති මෙම පූජකවරයා, හින්දු හා සික් ආගම් කෙළසන්නෙකු ලෙස නිරන්තර චෝදනාවටද ලක්වූවෙකි.