ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබූ උතුරු ඉන්දියාවේ ප්‍රකට හින්දු පූජකයෙකු වූ ගුර්මීත් රාම් රහිමී සිං අධිකරණය ඉදිරියේ වරදකරු බවට පත්වීමත් සමග ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 30ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම පූජකවරයා වැරදිකරු කරමින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවත් සමග ප්‍රකෝපවූ ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා නගරය පුරා දේපොළවලට අලාභානි කරමින්, මහාමාර්ගවල ටයර් පුළුස්සමින් ප්රකෝපකාරී ලෙස කටයුතු කර තිබුණු අතර, සිද්ධිය පාලනය කිරීම සඳහා යෙදවූ හමුදා වෙඩි තැබීමකින් මෙම මනුෂ්‍ය ඝාතන සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ගුරු රහීම් සිංගේ අනුගාමිකයන් ලක්ෂ දහයක් පමණ සිටින බව විශ්වාස කරන අතර, 2002 වසරේදී සිය ආගමික මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා ඔහුට එල්ල විය.
ජීවිතක්ෂයට පත්ව ඇති වැඩි පිරිසක් පූජක තැනගේ අනුගාමිකයන් බවත්, එම කලහකාරී පිරිස් දුම්රිය ස්ථාන දෙකක්ද ගිනිබත් කර තිබූ බවත් කියැවෙයි. එමෙන්ම, මහමග මෝටර් රථවලට පහරදීමක් මෙන්ම, ගිනි තැබීම්ද වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත්, තවදුරටත් ලේ වැගිරීම් වැළැක්වීම සඳහා අමතර භට පිරිස් ප්‍රදේශය වෙත කැඳවීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.
මේ අතර, හර්යානා ප්‍රාන්ත රජය විසින් මෙම පූජක තැනට අයත් සියලු මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට අණ කර ඇති අතර, ඔහුගේ මූලස්ථානයේ රැඳී සිටින ලක්ෂයක් පමණ පිරිසෙන් ඉවතට යෑමට කැමති අයට අවස්ථාව ලබාදීමටද ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.
පොප් තරුවක් මෙන්ම, චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙසද ඇතැම් අවස්ථාවල කරලියට පැමිණෙන මොහු රොක් තාරුකා බාබා යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙයි.
මෙවැන් තත්ත්වයක් නිසා ඔහු හින්දු ආගමට මෙන්ම, සික් ආගමටද අපහාස කරන්නෙකු ලෙසටද චෝදනා ලැබූවෙකි.