චීන යුද හමුදා නිලධාරීන් පස් දෙනකුට එරෙහිව චෝදනා එල්ල කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන රජය ඇමරිකානු තානාපතිවරයා කැඳවා සාකච්ඡා කළ බව විදේශ පුවත් සේවා වාර්තා කළේය.
ඇමරිකානු සමාගම්වලට අයත් වෙබ් අඩවිවලට නීති විරෝධීව ඇතුල් වී එම සමාගම්වල ව්යාපාරික රහස් තොරතුරු සොරා ගත් බවට මෙම යුද හමුදා නිලධාරීන් වෙත චෝදනා එල්ල වී තිබේ.
එකී චෝදනා හිතාමතා සකස් කළ ඒවා බව පවසන චීනය, මේ හේතුවෙන් දෙරට අතර සහයෝගීතාවට බාධා පැමිණෙන බවට අනතුරු ඇඟවීය.
සයිබර් අවකාශයේ ක්රියාත්මක, චීන- ඇමරිකානු අන්තර්ජාල ක්රියාකාරී කණ්ඩායම දැනටමත් චීනය විසින් නවතා දමා ඇති අතර, ගතයුතු තවත් ක්රියාමාර්ග පිළිබඳව ඔවුන් සලකා බලමින් සිටින බවද චීනය අවධාරණය කරයි.
මෙහි විශේෂත්වය වන්නේ, මේ ආකාරයෙන් පරිගණක තුළට නීති විරෝධීව ඇතුල් වී ව්යාපාරික රහස් තොරතුරු සොරා ගත් බවට විදේශ හමුදා නිලධාරීන් වෙත ඇමෙරිකාව චෝදනා එල්ල කළ ප්රථම අවස්ථාව මෙය වීමයි.
පරීක්ෂණ මෙහෙයවන , ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ රොබට් ඇන්ඩර්සන් පැවසුවේ තම කාර්ය මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් ඉතා විස්තරාත්මක චෝදනා ගොනු කොට ඇති බවය.