උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සම්මත වූ නවතම සම්බාධක හේතුවෙන් ඇ.ඩො.බිලියනයක පාඩුවක් විඳීමට උතුරු කොරියාවට සිදුවනු ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ අපනයන තහනම් කෙරෙන අතර එරට ආයෝජන සීමා කෙරෙනු ඇති බවද විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, නව සම්බාධක සහිත යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් සියලුම රටවල් එකඟවීම හේතුවෙන් එය ඒකඡන්දයෙන් සම්මත වීමද විශේෂත්වයකි.
ඒ අනුව, උතුරු කොරියාවට විඳීමට සිදුව ඇත්තේ මෑත ඉතිහාසයේ ලොව ඕනෑම රටක් වෙත පනවනු ලැබූ බරපතලම සම්බාධක තත්ත්වයකට බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, උතුරු කොරියාවේ ජාත්‍යන්තර මිතුරා වන චීනය විසින්ද උතුරු කොරියාව සිදුකරන මිසයිල අත්හදා බැලීම් හෙළා දකිමින්, එම මිසයිල අත්හදා බැලීම් වහාම නවතා දැමිය යුතු බව පවසා සිටියේද මෙම සම්බාධක පැනවීමෙන් පැය කිහිපයකට පසුවය.
උතුරු කොරියාව විසින් චීනයට අපනයනය කෙරෙන ගල් අඟුරු සහ වෙනත් අමුද්‍රව්‍ය ඔවුන් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳාම තුළින් උපයන සීමිත ආදායම් මාර්ගවලින් එකකි. නමුත්, උතුරු කොරියාවේ නොහික්මුණු තත්ත්වය තුළ කලාපය අස්ථාවර වීම හේතුවෙන් උරණ වූ චීනයද මෙම වසරේ මුල සිට උතුරු කොරියාවෙන් ගල් අඟුරු මිලදී ගැනීම අත්හිටුවීය.
මේ සියලු උණුසුම් තත්ත්වයන් මත දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා උතුරු කොරියාව සමග සංවාදයක් තුළින් මෙම ප්රශ්නය විසඳා ගැනීමේ අදහසේ පසුවීම චීනයද සතුටු වන කාරණයකි. ඒ අනුව, ඉදිරියේදී පිලිපීනයේ, මැනිලා නුවරදී ඇරඹෙන ආසියාන් සමුළුව අතරවාරයේදී උතුරු කොරියාව සමග සෘජු සාකච්ඡා ඇරඹීමට දකුණු කොරියාව සූදානමින් සිටියි.
දකුණු කොරියාවේ විදේශ ඇමතිනී කැන් ක්යුං වා පවසා සිටියේ මෙම සමුළුව අතරතුර අවස්ථාවක් ලැබුණොත් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බවයි.