සතියක කාලයක් තුළ ජර්මනිය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව හමුවේ ජර්මානු වැසියන් භීතියෙන් ඇලලී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මන්නා පිහි ප්‍රහාර ආදී වශයෙන් එල්ල වන මේ අමානුෂික ප්‍රහාරවලින් තම ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා ජර්මානු රජය එරට තුළ ආරක්ෂාව ඉහළ නංවා ඇති බවද කියැවෙයි.
මෙම ප්‍රහාර මාලාවේ අවසන් ප්‍රහාරය ලෙස බාවේරියන් හි අන්ස්බැච් නගරයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය දැකි්විය හැකි අතර, මෙහිදී ප්‍රහාරයෙන් වැඩි පිරිසකට හානි ගෙනදීම සඳහා බෝම්බයට වානේ කොටස් රැසක් එක්කොට තිබූ බවද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
27 හැවිරිදි සිරියානු සංක්‍රමණික ත්‍රස්තයාගේ ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි මෙම බෝම්බයෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා, බෝම්බකරුද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එමෙන්ම, 21 හැවිරිදි සිරියානු සංක්‍රමණිකයෙකු විසින් එල්ල කරන ලද මන්නා පිහි ප්රහාරයකින්ද ගැබිණි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූයේ රොට්ලින්ජෙන් නගරයේදීය.
මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
මේ අතර, පසුගිය 22 වැනිදා 18 හැවිරිදි ඉරාන ජර්මානු ද්විත්ව පුරවැසිභාවයක් ඇති තරුණයෙකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීම හමුවේ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙකු තුවාල ලැබීය.
මෙම ප්‍රහාරකයා පසුව හුදෙකලා ප්‍රහාරකයෙකු ලෙසද එරට ආරක්ෂක අංශ විසින් පවසා තිබුණි.
එමෙන්ම, 18 වැනිදා මධ්‍යම ජර්මනියේ, වර්ස්බර්ග් හි දුම්රියක් තුළ සිදුවූ මන්නා ප්‍රහාරයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබුණි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය තවදුරටත් දුරදිග යාම වළක්වමින් ජර්මානු පොලීසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හමුවේ ඔවුද ජීවිතක්ෂයට පත්විය.