චීනයේ, ෂැංහයි නුවර පුළුල් මාර්ගයක් සම්පූර්ණ කිරීමට නොහැකි වන ලෙස එහි පැත්තක් අවහිර කරමින් පැවති නිවසක් වසර 14කට පසුව කඩා බිඳ දැමීමට අවස්ථාව හිමිව තිබේ.
'නේල් හවුස්' හෙවත් 'නියපොතු නිවස' ලෙස සැලකුණු මෙය එම මාර්ගයේ අඩකට වැඩි කොටසක් වසාගෙන පැවති අතර, නිවස කඩා බිඳ දැමීමට තමන්ට ලැබෙන වන්දිය ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම කාලය තුළ එම නිවැසියන් තම නිවස අත්හැර යාම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත්, අවසානයේදී චීන යුආන් මිලියන 2.7කට (රු.හයකෝටි විසි ලක්ෂයකට) ආසන්න වන්දියකට යටත්ව නිවස කඩා බිඳ දැමීමට ඔවුන් එකඟවීම නිසා විනාඩි 90ක් වැනි කාලයක් තුළ නිවස සම්පූර්ණයෙන් කඩාදමා, මාර්ගයේ පැවති අවහිර ඉවත්කිරීමට ෂැංහයි බලධාරීහු පියවර ගෙන තිබේ.
මෙවැනි 'නියපොතු නිවාස' වේගවත් සංවර්ධනයක් සහිත චීනයේ සාමාන්‍ය තත්ත්වයක් බවට මේ වනවිට පත්ව ඇත්තේ බොහෝ නිවැසියන් සංවර්ධනයට ගොදුරු වන තම නිවාස අත්හැර යෑම සඳහා විශාල වන්දි මුදල් ඉල්ලා සිටීම නිසාය.
කෙසේ වෙතත්, පසුගියදා කඩා බිඳ දැමූ ෂැංහයි නිවස නිසා පැය ගණනාවක කාලයක් එම මාර්ගයේ මාර්ග තදබදය පැවති බවත්, බොහෝ විට එම නිවස නිසා අවහිර වී තිබූ මාර්ගය මගහැර යෑමට ඇතැම් අය අමතර දුරක් ගමන් කළ බවත් කියැවෙයි.