රුසියාව විෂ ශරීරගත කිරීමක් සිදුකළේ යැයි සැක කෙරෙන එරට හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ දියණිය වන යූලියා ස්ක්‍රිපාල් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
33 හැවිරිදි යූලියා සැලිස්බරි දිස්ත්‍රික් රෝහලෙන් සඳුදා පිටව ගොස් ඇති අතර, ඇය ආරක්ෂිත ස්ථානයක රඳවා තබා ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන රෝහල් බලධාරීන් පවසන්නේ, රෝහලෙන් පිටව ගියත් ඇයගේ ප්‍රතිකාර අවසන් නොමැති බවයි.
කෙසේ වෙතත්, 66 හැවිරිදි වියේ පසුවන ඇගේ පියා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔහු ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි රුසියානු හිටපු බුද්ධි නිලධාරියා සහ ඇගේ දියණිය විෂ ශරීරගත වීමක් හේතුවෙන් ඔවුන් පසුගිය මාර්තු 4දා රෝහල්ගත කෙරුණු අතර, රුසියාව විසින් ඔවුන්ට විෂ ශරීරගත කරවා ඇති බවට බ්‍රිතාන්‍ය බලධාරීන් චෝදනා කරන්නට විය.
මෙම සිදුවීම මූලික කරගෙන බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව ප්රමුඛව තවත් යුරෝපා රටවල් රැසක් එම රටවල රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් රැසක් යළි රුසියාවට පිටුවහල් කිරීමට කටයුතු කරනු ලැබීය.