කෙම්බ්රිජි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් කුමරු සහ කේට් කුමරිය සිය තෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව කෙන්සිංග්ටන් මාලිගය තහවුරු කර තිබේ.
මෙම පුවතින් දෙවැනි එළිසබෙත් රැජින මෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය පවුල දැඩි උද්දාමයකට පත්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
35 වැනි වියෙහි පසුවන කේට් කුමරිය ගර්භිනී සමයේ ඇතිවන විවිධ ශාරීරික දුර්වලතා පෙන්නුම් කර ඇති අතර, උදෑසන කාලයේදී වමනය හා හිසරදය ආදී ලක්ෂණ පෙන්නුම් කරන බවද මාලිගයෙන් ලැබෙන වාර්තා පවසයි.
විලියම් හා කේට් කුමරියට දාව මේ වනවිට හතර හැවිරිදි ජෝජ් පුත් කුමරු සහ දෙහැවිරිදි චාර්ලට් දූ කුමරිය යන දරු දෙදෙනෙකු සිටී.
ඩයනා කුමරිය සිය ජීවිතයෙන් සමුගෙන වසර 20ක් සපිරෙන අවස්ථාවේදී රජ පවුල සම්බන්ධයෙන් යම් කළකිරීමකින් සිටි බ්‍රිතාන්‍ය ජනතාවටද මෙම පුවත යම් අස්වැසිල්ලක් වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.