බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ (13දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඩවුනින්ග් වීදියේ අංක 10 නිවසින් පිටත්ව ගියත්, ලැරී බළලා එහි රැඳී සිටි බැවින් නව අගමැතිනී තෙරේසා මේ ධුරයට පත්ව යළි ඒ වෙත පැමිණෙන තුරු ගත වූ විනාඩි කිහිපයට බ්‍රිතාන්‍ය පාලනය ලැරී බළලා අතට පත්වූ බව කියයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නික්ම යාමත්, නව අගමැතිනියගේ පැමිණීමත් අරඹයා ගොඩනැගෙන සමාජජාල කතා අතර වඩාත් ප්‍රකට කතාවක් බවට මෙය පත්ව තිබුණි.
එමෙන්ම, ලැරී බළලා ට්විටර් පණිවුඩයකින් තම පැරණි හිමිකාරයාගෙන්, නව හිමිකාරිය වෙත කෙරෙන උපදෙස් ලබාදීමක් ලෙස, ලැරී තමාගේ උදෑසන ආහාරය 11.30 ට පමණ ගැනීමට කැමති බවත්, දහවල් කෑම සවසට ගන්නා බවත් කියා ඇත. එමෙන්ම, සමස්ත කාර්ය සෙල්ලම පමණක් යැයි ද එහි සඳහන්ව ඇත.
මේ අතර, ඩවුනින්ග් වීදියේ සී.සී.ටී.වී. කැමරාවකට හසුව තිබුණේ, නව අගමැතිනිය අංක 10 නිල නිවසට පැමිණීමෙන් පසු තම නායකත්වය යටතේ සිදුකළ ප්රබලතම වෙනස්කම ලෙස ලැරී බළලා කුණු කූඩයකට ගෙනැවිත් දමන දසුනකි.
මෙවැනි හාස්‍ය පිරි කතා අතර, ඊයේ (13දා) හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පාර්ලිමේන්තුවේදී සිය අවසන් සැසිවාරයේදී ලැරී බළලා ගැන සිය හැඟීම් ප්‍රකාශ කිරීමටද අමතක නොකළේය.
තමන් ලැරීට ආදරය නොමැති බවට කටකතා පැතිරුණත්, එය බොරු කිරීමට ඡායාරූපයක්ද ගෙනා බව පවසමින්, කැමරන් තම උකුලමත ලැරී වාඩි වී සිටින ඡායාරූපයක් සභා ගැබට පෙන්වීය. ඔහු කියා සිටියේ තමා ලැරීට ආදරය කළ බවයි.
කෙසේ වෙතත්, තමා සමග ලැරී ගෙන යෑමට නොහැකි බවත්, ලැරී අයිති අගමැති නිල නිවසට හා එහි කාර්ය මණ්ඩලයට බවත් පැවසූ කැමරන්, නව අගැමැතිනිය සමග ලැරී තවදුරටත් සිය රාජකාරී කටයුතු කරනු ඇති බවද කියා සිටියේය.
මේ ආකාරයෙන්, බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල පත්වීමත් සමග ලෝකයේ වඩාත්ම කතා බහට ලක්වූ සත්වයෙකු ලෙස ලැරී බළලා මේ වනවිට ජනප්‍රිය වී ඇත.
එහිදී, ඩේවිඩ් කැමරන්ට සිය ධුරයෙන් ඉවත් වී අගමැති නිල නිවසට සමුදෙන්නට සිදුවුවත්, එහි නිල බළලා වූ ලැරී ට තවදුරටත් නව අගමැතිනී තේරේසා මේ යටතේද එහි රැඳී සිටීමේ භාග්‍ය උදාවී තිබීමද සුළුපටු නැත.