චීනය නව යුගයක් වෙත එළැඹ ඇති බවත්, එය ලෝකයේ ප්‍රධාන වේදිකාව වෙත චීනයට ගොඩවීමට කාලය උදාවූ අවස්ථාවක් බවත් චීන ජනපති ෂි ජින්පින් පවසයි.
චීන ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (18දා) පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුවේ පළමු වැනි දිනය අමතමිනි. වසර පහකට වරක් පැවැත්වෙන කොමියුනිස්ට් පක්ෂ සමුළුව චීනයේ ගමන්මග තීරණය කෙරෙන සුවිශේෂී වැඩසටහනක් ලෙස සැලකෙයි.
එහිදී, චීන ජනාධිපතිවරයා වැඩිදුටත් පවසා සිටියේ එරට තුළ ක්රමික වර්ධනයක් සඳහා සමාජවාදයද ඇතුළත් චීන ලක්ෂණ හේතු වූ බවයි.
මෙය ලෝකයේ සෙසු රටවලටද තෝරාගැනීම සඳහා තවත් විකල්ප දේශපාලන ගමන්මගක් ලෙසක් හෙතෙම පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම චීන ජනතාව වෙත ඉදිරියේදීද සතුට ඇති කිරීමටත්, චීන රාජ්‍යය තවදුරටත් තරුණ කිරීම සඳහාත් කොමියුනිස්ට් පක්ෂය ලෙස ඉටුකිරීමට සැලසුම් කර ඇති සැබෑ බලාපොරොත්තු සහ මෙහෙයුම් තවදුරටත් නොපිරිහෙලා ඉටුකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සපථ කළේය.
ඉන් නොනැවතී, ගෙවීගිය වසර පහ තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ලැබූ ජයග්‍රහණ පිළිබඳවද සඳහන් කළ ජනාධිපතිවරයා, නව්‍යකරණයට ලක්වූ සමාජවාදයක්ද සමගින් වසර 2050 දී වඩාත් නව්‍ය සමාජවාදයක් සහිත රටක් බවට චීනය පත් කිරීම සිය සැලසුම බවත් අවධාරණය කළේය.
සාමාන්‍යයෙන් වසර පහකට වරක් පැවැත්වෙන කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී එරට ගමන්මග හා සුක්ඛානම හසුරුවන නායකයා වෙනසකට බඳුන් වුවත්, මේ වනවිටත් චීනය තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ෂි ජින්පින් ජනාධිපතිවරයා ඉදිරි වසර පහ සඳහාද එරට සුක්ඛානම හසුරුවනු ඇති බව සඳහන් වෙයි.